shadow

බුද්ධිමත් මිනිසුන්ගේ හදවත දිනාගත්
මඩකලපුව පාර්ලිමේන්තු මන්ත්‍රී

ශානක්‍යන් රාසමානික්කම්

එකවිට කැපී පෙනෙන, ඔහුගේ කුසලතාවය වන්නේ, දෙමළ, ඉංග්‍රීසි සහ සිංහල භාෂා ත්‍රිත්වයෙන්ම එක සේ ව්‍යක්ත ලෙස, බුද්ධිමත් ලෙස, අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාවයි.

බුද්ධිමතුන් අතර බහුතරයේ සිත්, ඔහු දැනටමත් දිනාගෙන ඇති බව දිස්වෙන එක් සාධකයක් වන්නේ, You-Tube නාලිකා ගණනාවකින් ඉතා උද්යෝගිමත් ලෙස, සම්මුඛ සාකච්ඡා සඳහා ආරාධනය කර, ඔහු පිළිබඳ තොරතුරු, රටේ ජනතාවගේ දැනගැනීම සඳහා, වාර්තා කර විහිදුවා හැරීමයි.

පාර්ලිමේන්තු විපක‍ෂයේ වයසින් බාලම මන්ත්‍රීවරයා, වන ශානක්‍යයන්, මඩකලපුව දිස්ත්‍රික්කයේ සුප්‍රසිද්ධ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ රාසමානික්කම් මහතාගේ මුණුපුරාය. ශානක්‍යයන් විසින්ම, මේ රූපවාහිනී වැඩසටහන් වල තමා ගැන කියා ඇති තොරතුරු මෙසේය.

“මගේ සීයා තමයි කලකට පෙර මඩකලපුව ආසනය නියෝජනය කළ මන්ත්‍රීවරයා. මම ඉපදුනේ මඩකලපුවේ. යුද්ධ සමයේ දී, සරණාගතයන් වශයෙන් අපිට මඩකලපුව හැරදා කොළඹට එන්න සිද්ධ වුණා. පසුව මගේ පියා දොස්තර කෙනෙක් නිසා නුවර එළිය දිස්ත්‍රික්කයට මාරුවක් අරගෙන, මමයි, අක්කයි මහනුවර පාසල්වලට ගියා. මම ගියේ ත්‍රිත්ව විද්‍යාලයට Trinity College මට භාෂා තුනම කථා කරන්න පුළුවන් වුණේ ඒ නිසයි.

පාසැලෙන් අස් වි මම ඔස්ට්‍රේලියාවට ගියා. ඝනකාධිකාරී පාඨමාලා හදාරා මම MBA උපාධියක් ද ලබාගෙන Auditor කෙනෙක් වශයෙන් ඔස්ට්‍රේලියාවේ වසර 10 ක් හිටියා.

මම ලංකාවට ආවේ මගේ සීයාගේ සියවෙනි ජන්ම සංවත්සර සැමරුම් උළෙලකට ලැබුණ ආරාධනයක් නිසයි. මඩකලපුව ජනතාව මට විශාල ඉල්ලීමක් කරා, දේශපාලනයට පිවිසෙන්න කියලා.

මම තීරණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක‍ෂයෙන් දේශපාලනයට පිවිසෙන්න. මහින්ද රාජපක‍ෂ මහතා මාව මඩකලපුවේ ශ්‍රී ලංකා නිදහස් පක‍ෂයේ සංවිධායක ලෙස පත් කළා. මහින්ද මහත්තයා, මිනිසුන්ගේ සිත් දිනාගන්න දක‍ෂ, සොඳුරු පුද්ගලයෙක්.

කෙසේ වෙතත්, එම මාවත තුළ, මඩකලපුවේ ජනතාවගේ ප්‍රශ්න විසඳාගැනීමට අමාරු යයි සිතුන නිසා, මම ITAK පක‍ෂයෙන් TNA එක හරහා, මන්ත්‍රීවරයෙකු ලෙස තරග කරලා, ඡන්දයෙන් පත්වුණා.

මම ඛෙදුම්වාදය අදහන්නේවත්, ත්‍රස්තවාදය උසිගන්වන්නේවත් නෑ. මුළු ලෝකයම දන්නවා අපේ දෙමළ ජනතාවට, සිංහල අයට මෙන්ම බරපතල ප්‍රශ්න තියෙනවා. දිළිඳුකම, විරැකියාව, දේශපාලන බල රහිත බව වැනි. මේ නිසා ඒ පළාත් වලට දියුණුව කරා යන්න බැරිවෙලා තියෙනවා. අප දැන් කළ යුත්තේ මිනිසුන්ගේ සැබෑ ප්‍රශ්න අපි සේරම එකතු වෙලා විසඳන්න උත්සාහ කරන එක. ඒ සඳහා මම කැපවෙනවා”

2021 අයවැය විවාදයේ දී, ශානක්‍යයන් අතිශයින්ම සටන්කාමී කථාවක් කළා, දෙමළ, මුස්ලිම්, කතෝලික ජන කොට්ඨාශවලට දැන් මුහුණ දෙන්න තිබෙන ප්‍රශ්න ගැන. මුළු සභාවම ගල් ගැහුණා. එතැනදී වුණේ, පොහොට්ටුවේ අශීලාචාර පසුපෙල මන්ත්‍රීවරුන් ඔහුට අපහාස කරමින් බැණ වැදීමයි. නමුත් එදින භාෂා තුනෙන්ම කථා කරමින් වර්තමාන අවාසනාවන්ත සමාජ තත්ත්වය විග්‍රහ කළ ඔහුට බුද්ධිමතුන්ගේ ගෞරවය හිමිවුණා.

ඔහු මෙහිදී කියා සිටියේ, රජය බිය විය යුත්තේ දෙමළ, මුස්ලිම් හෝ කතෝලික ජනතාවට නොව, රටේ සම්පත් ඩැහැගන්නට එන චීන ආයෝජකයන් ගැන බව. ශානක්‍යයන් කොතලාවල ආරක‍ෂක විශ්වවිද්‍යාල පණතට එරෙහිව, නිදහස් අධ්‍යාපනය රැකිය යුතු බවටත්, දෙමළ ජනතාව සටන්කාමී වුණ එක් සාධකයක් වූයේ දෙමළ තරුණයන්ට ඉහළ අධ්‍යාපන අවස්ථා අහිමි කිරීම බවත්, රටේ දුප්පත් ජනතාවට අනාගතයට තිබෙන එකම මග වන නිදහස් අධ්‍යාපනය අහිමි නොකළ යුතු බවත්, කියා සිටියා.

එහෙත්, රාසමානික්කම් මහතා පාර්ලිමේන්තුව තුළ අදහස් ප්‍රකාශ කරන සෑම අවස්ථාවකම, පොහොට්ටුවේ පසුපෙල පාදඩයන් රැළ, ඔහුට “පරයා, බල්ලා, කොටියා” යනුවෙන් කෑ ගසමින් බාධා කරන්නේ, ශානක්‍යයන් ගේ තියුණු විවේචන, පොහොට්ටුවේ පාදඩ දේශපාලනයට වදින දරුණු ප්‍රහාරයන් බව ඔවුන් වටහාගෙන ඇති බැවිනි. කෙසේ හෝ ඔහුගේ හඬ යටපත් කිරීම අවශ්‍ය බැවින්, මේ නින්දිත බාධා කිරීම දිගටම කරගෙන යනු ලබයි. මේ රටේ ජනතාව තේරුම් ගත යුතු කරුණක් නම්, නීති සම්පාදනය කරන පාර්ලිමේන්තුව තුළ පාදඩයන්, හොරුන්, දූෂිතයන්, මිනීමරුවන් සහ ජාතික ධනය මංකොල්ලකරුවන් සිටිනතාක්, ජාතික සමගිය කෙසේ වෙතත් මුළු රටම අශිෂ්ඨ, නීතිය වල් වැදුන, පාදඩ රටක් Pariah State වීම වැළැක්විය නොහැකි බවයි.

ප්‍රජාතන්ත්‍රවාදයේ වෙන් කළ නොහැකි ලක්ෂණයක් වන්නේ වෙනස් මතයක් දැරීමට හෝ ප්‍රකාශ කිරීමට ඇති අයිතියයි. තමන් නියෝජනය කරන ජනතාවගේ අයිතින් වෙනුවෙන් කතා කරන විට ඔහුට “බල්ලා, පරයා” කීම මොනතරම් නින්දිතද?

රාසමානික්කම් වැනි දක‍ෂ බුද්ධිමත් මන්ත්‍රීවරු, සෙසු පාර්ලිමේන්තුවේ බුද්ධිමතුන් සමග එක්සත්ව, මේ දරුණු ව්‍යසනයෙන් රට බේරා ගැනීමටත්, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, සහ ස්කැන්ඩිනේවියානු රටවල, මහජනතාව භුක්ති විඳින සාමකාමී, ශිෂ්ඨ, එකිනෙකාට ගරුකරන, ධාර්මික රටක් බිහිකිරීමට අත්වැල් බැඳගෙන, සෑම දෙයක්ම අහිමි වී තිබෙන අපේ බහුතර ජනතාවට ලෝකය සමග සමගාමීව ඉදිරියට යාමට අවස්ථාව සලසන්නට අන් අය සමඟ ඔබටත් හැකිවේවා යයි අප පතමු.!

ශානක්‍යයන් රාසමානික්කම් මහතාණෙනි, ශ්‍රී ලාංකික ජනතාවගේ අභිවෘද්ධිය සඳහා ඔහොම ඉදිරියට යන්න.!


Author

admin

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *