shadow

සාමකාමී උද්ඝෝෂණයට පොලිසිය එල්ල කල තිරිසන් ප‍්‍රහාරයට අපගේ බලවත් වීරෝධය!

ඊයේ (09.06.20), ස්ථාන දෙකකදී පෙරටුගාමී පක්ෂයේ ප‍්‍රධාන නායකයන් ප‍්‍රමුඛ ක්‍රියාකාරීන් දියත්කල සාමකාමී උද්ඝෝෂණ ව්‍යාපාරයට කඩා වැදුන පොලිස් මැරයන් රැලක්, ඊනියා දේශබන්දුවරයෙකුගේ විධානය යටතේ, තිරිසන් ලෙස පහර දී, උද්ඝෝෂකයන් ප‍්‍රචන්ඩ ලෙස අත්අඩංගුවට ගන්නා ආකාරය මුළු රටටම, රුපවාහිනි විකාශයන් ඔස්සේ දැක ගත හැකි විය.

එහි සිටි වයෝවෘධ කාන්තාවන් ඇතුළු, කාන්තාවන් ගණනාවකට දරුනු ලෙස අඩම්තෙට්ටම් කරමින්, තරුණියක් නීති විරෝධි ලෙස කකුල් දෙකෙන් අල්ලා පොලිස් රථයක් තුලට කණු මාළු කූරියෙක් විසි කරන ආකාරයෙන් විසි කරනවා, මුළු රටම දුටුවේය. මෙවැනි අමානුෂික ක‍්‍රියාවන් වල යෙදුන පොලිස් නිලධාරින් මව් කුසෙන් උපන් එවුන් විය නොහැක. නීතිය අභිබවා යමින් මේ අන්දමින් ප්‍රචන්ඩ ලෙස ක‍්‍රියාකිරීමට, පොලිසියට කිසිසේත්ම නීතියෙන් ඉඩක් නැත.

පසුව , වැඩ බලන පොලිස්පති ප‍්‍රකාශ කලේ නිරෝධායන නීති කඩ කිරීම සහ උසාවී නියෝගයක් කඩ කිරීම මත ඔවුන් අත්අඩංගුවට ගත් බව සහ උසාවියට ඉදිරි පත් කරන බවයි. ඇමරිකාවේ කළු ජාතික ජොර්ජ් ෆ්ලෝයිඞ් ඝාතනයට එරෙහිව ලොව පුරා දැන් පැවැත්වෙන දැවැන්ත විරෝධතා රැලි වලට සහයෝගය දැක්වීම සදහාත් ජාතිවාදයට එරෙහිව සංකේතවත් ලෙස මෙම ජාත්‍යන්තර උද්ඝෝෂණවලට දිරිය සැපයීමටත්, පවත්වන ලද පෙරටුුගාමී පක්ෂයේ මේ උද්ඝොෂනයට ශ‍්‍රී ලංකා පොලිසිය ප‍්‍රතිචාරය දැක්වූයේ පැහැදිලිවම ඇමරිකානු පොලීසිය ජොර්ජ් ෆ්ලෝයිඞ්ගේ  “හුස්ම හිර කරගෙන” සිටි ආකාරයටමය.

ශ‍්‍රී ලංකාවේ පොලිසිය, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ හුස්ම හිර කිරීම දැන් ආරම්භ කර ඇතිවා සේය.

මේ සිද්ධියෙන් ඉස්මත්තට එන අවලක්ෂණ සත්‍ය වන්නේ, පොලිසිය සහ ත‍්‍රිවිධ හමුදාවේ සැබෑ භූමිකාව නිරාවරණය වීමයි. ධනපති පංතිය මෙහෙයවන රජයන් වල මර්ධනකාරී හස්තයන් ලෙස, පඩි ගෙවා නඩත්තු කරගෙන යන , මේ කුලී හේවායන් අවශ්‍ය අවස්ථා එන විට, අනිවාර්යෙන්ම, තම හාම්පුතා වන ධනපති පාලකයන් රැකගැනීමට, ජනතාව මත බැටන් පොලූ, තුවක්කු බට සහ පොකුරු බෝම්බ එල්ල කරනු ඇති බව, එම සත්‍යයයි. ඊනියා රණවිරුවන් ජනතාව මරාදමන මිනීමරුවන් බවට පරිවර්ථනය වන හැටි, ඉතිහාසය පුරාම ඔබට නැවත, නැවතත් දැක ගත හැක.

මෙය අප රතුපස්වලදී දුටුවෙමු. වෙඩිනොවදින කබා හැදගත් සොල්දාදුවන් ස්වයංක‍්‍රීය ගිනි අවි රැගෙන, වතුර ඉල්ලා උද්ඝොෂණය කල ජනතාවට වෙඩි වරුසාවක් එල්ල කලේ අහිංසක තරුණයන් කිහිප දෙනෙකු මරා දමමින් විශාල ගණනකට තුවාල සිදු කරමිනි. වෙඩි වරුසාවෙන් ගැලවීමට පල්ලියක් තුලට රිංගාගත් පිරිස ලූහුබැදි අවිගත් සොල්දාදුවෝ පල්ලිය භාර කන්‍යා සොහොයුරියගේ පපුවට තුවක්කු බටයක් තබා, “වෙඩි කන්න කැමතිද??’’ යැයි අසන ලදී. වැලිකඩ හිර ගෙදරදී තෝර, තෝරා සිරකරුවන් මරා දැමු බව, උසාවියේ සාක්ෂි සටහන් වී ඇති අතර, එම මිනී මරුම් 28 කරන ලද්දේ පොලිසිය විසිනි. වෘත්තිය සමිති උද්ඝෝෂණයකදී, හිරි මල් වියේ තරුණයෙකු වූ රෝෂාන් චානක මරාදැමුවේත්, ධීවර උද්ඝෝෂනයකදී දුප්පත්, අහිංසක ධීවරයෙකු මරා දැමුවේත්, මේ ඊනියා රණවිරුවන්ය.

දේශපාලන වශයෙන් මෙන්ම, ආර්ථික වශයෙන් මුඵමනින්ම බංකොලොත් භාවයට ගමන් කරමින් සිටින මෙම රජය, තදින්ම බිය වන කාරණය වන්නේ, ජනතාව පාරට බසීද?, යන බිය ජනක සිතුවිල්ලයි. එබැවින් පෙරටුගාමී පක්ෂයේ උද්ඝෝෂණය කුඩු පට්ටම් කර, ‘‘බලාපියව්..! අපි මුන්ට ගහන හැටි! කියමින් ‘‘ඊ ළඟට තොපිට!’’ යන පණිවිඩය දැන් රජය නිකුත් කර ඇත. මේ සඳහා අතකොලූව ලෙස ධනපති රජය පාවිච්චි කරන්නේ කුලී හේවායන්වය.

මෙම නින්දිත සිද්ධියට විරෝධය දැක්වීම, හෘද සාක්ෂියක් ඇති පුරවැසියන් ඉටු කල යුතු Civic Duty ප‍්‍රජා වගකීමකි. යුක්තිය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, විසම්මුතියට ඇති අයිතිය Right to Dissent, අගය කරන මානව සංහතියේ ප‍්‍රගමනය අපේක්ෂා කරන සියළු දෙනාම එකමුතුවූ, දැවැන්ත උද්ඝෝෂණ පවත්වා, හෙලා දැකිය යුතු මොහොත, දැන් පැමිණ තිබේ. ඒ සදහා පෙළගැසෙන ලෙස, ප‍්‍රගතිශීලි ජනතාවගෙන් අපද, නිහතමානීව ඉල්ලා සිටිමු.

– පහන්ටැඹ සංවිධානය –

Author

admin

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *