shadow

මහජන බැංකුව ගැන ජනාධිපතිට ලියුමක්.

ලියාපදිංචි තැපෑලෙනි.

2017 නොවැම්බර් 10

මෛත‍්‍රීපාල සිරිසේන මහතා
අතිගරු ජනාධිපති,
ජනාධිපති කාර්යාලය,
කොළඹ 01.

ගරු ජනාධිපතිතුමනි,

ඔබ ජනාධිපති ධූරය දරද්දී, එන්. වසන්ත කුමාර් නමැති හිරගෙදර යැවිය යුතු අපරාධකාරයා තවදුරටත් මහජන
බැංකුවේ සාමාන්‍යාධිකාරී ලෙස රඳවා තබා ගැනිම.

මහජන බැංකුවේ වත්මන් පාලනය සහ විශේෂයෙන්ම පසුගිය වසර 10 ක පමණ කාලයක් තුල සිදුවී ඇති, අක‍්‍රමිකතා, අපරාධයන් මෙන්ම, ජාතික අරමුණක් නැතිව, මංමුලා මාවතකට මහජන බැංකුව තල්ලූ කරමින් සිටින ආකාරය ගැන සත්‍ය තොරතුරු යම් කුඩා හෝ ප‍්‍රමාණයක්, අප සතුව ඇති බැවින්, එම තොරතුරු ඔබ තුමාගේ අවධානයට අප මෙසේ යොමු කරන්නේ, මෙම අපරාධකාරී ක‍්‍රියාවන් වහාම නැවැත්වීමට ඔබතුමාගේ විධායක බලතල යොදවනු ඇතැයි යන බලාපොරොත්තු වෙනි.

එහි ප‍්‍රථම පියවර වශයෙන්, මහජන බැංකුවේ පාර්ශවකරුවන් වන, අදාල කැබිනට් ඇමතිවරයා, බැංකුවේ සභාපතිවරයා සහ සාමාන්‍යාධිකාරී වරයා, බැංකුවේ පිළිගත් වෘත්තීය සමිති හතරේ ප‍්‍රධාන නිලධාරීන් සහ බැංකුවේ විශ‍්‍රාමිකයන් 7000 වෙනුවෙන්, සහ ගණුදෙනුකරුවන් වෙනුවෙන් මේ පෙත්සම ඉදිරිපත් කරන අපද, කෙලින්ම සාකච්ඡුාවකට කැඳවා, එහි දී එළඹ ගත හැකි තීන්දු ක‍්‍රියාත්මක කරන ලෙස අප ඉල්ලා සිටිමු.

මෙහි ඇති ඇමුණුම් වලින් පහත දැක්වෙන ප‍්‍රධාන කරුණු ඔබ වෙත ඉදිරිපත් කරමු.

1. මහජන බැංකුවේ වර්තමාන සභාපති හේමසිරි ප‍්‍රනාන්දු සහ සාමාන්‍යාධිකාරී වසන්ත කුමාර් යන දෙදෙනාම වංචා සහ දුෂණ වලට සම්බන්ධ බවට පොලිස් වාර්තා සහ වෙනත් විමර්ෂණ කමිටු වාර්තා වලද, දැනටමත් වගඋත්තරකරුවන් බවට නම් කර ඇති බැවින්, දැනටමත් බොහෝ ප‍්‍රමාද වී ඇති නමුත්, ඒ හේතූන් මතම, වහාම ඔවුන් එම තනතුරු වලින් ඉවත් කල යුතුය.

දැනට සිටින අධ්‍යක්‍ෂ මණ්ඩලය පත්කර ඇත්තේ මහ බැංකුවේ බැඳුම්කර වංචාවට කෙලින්ම සම්බන්ධ කැබිනට් ඇමතිවරුව සිටි රවී කරුණානායක සහ කබීර් හෂීම් යන දෙදෙනා විසින් බැවින් සහ අධ්‍යක්‍ෂ මණ්ඩලය බැංකුවේ අයහපත් පැවැත්ම ගැන කිසිත් උනන්දුවක් නොගෙන, ඔවුන් යටතේ සිටින විධායකයන්ට අවිධිමත් ක‍්‍රියා වල නිරත වීමට ඉඩදී, තම වගකීම ඉටුකර නැති බැවින්, මුළු අධ්‍යක්‍ෂ මණ්ඩලයම, මේ හේතු දෙක මත, වහාම ඉවත් කිරීම, සහ බැංකු කරණය ගැන වෘත්තීය සහ ශාස්ත‍්‍රීය ප‍්‍රවීනත්වයක් ඇති පුද්ගලයන් අළුතින් පත් කොට, සිදුවී ඇති අක‍්‍රමිකතා අනාවරණය කර ගැනීමට කටයුතු කරන ලෙසද ඉල්ලා සිටිමු.

2. 2000 වර්ෂයේ දී තාවකාලික අභ්‍යාසයක් ලෙස, කොන්ත‍්‍රාත් පදනමක් මත බඳවා ගන්නා ලද ඊනියා ‘‘විශේෂඥයන්’’ 14 දෙනා අතුරින්, ලඟදී වනතුරු 6 දෙනෙකු සහ දැනට 5 දෙනෙකු, වසර 17 ක් තුල කොන්ත‍්‍රාත් පදනම මතම රැඳී සිටින අතර, මේ අයට අතරතුර කාලය තුලදී උසස්වීම් සහ වෙනත් තනතුරුද ලබා දී, මහජන බැංකුව මෙන්ම එහි ප‍්‍රධාන අනුබද්ධ ආයතන වල පාලනය මුළුමනින්ම මේ කොන්ත‍්‍රාත් සේවකයන් අතට පත්කර ඇත.

මේ හේතුකොට ගෙන බැංකුකරණ පිළිබඳ වෘත්තීය පුහුණුව ලබා ඇති බැංකුවේ නිත්‍ය සේවකයන් වන එහි ජ්‍යෙෂ්ඨ විධායකයන්ට ඉහල තනතුරු වලට පිවිසීමේ මාවත මුළුමනින්ම අවහිර කර, බැංකුව දියුණු කිරීමට ඔවුන් ලබා ඇති පුහුණුව ද ප‍්‍රයෝජනයට ගෙන නැත.

මේ කොන්ත‍්‍රාත් සේවකයන්ට ගෙවන අති විශාල වැටුප්, සහ ලබාදෙන්නා වූ විවිධ වරප‍්‍රසාද මෙන්ම දීමනා, රාජ්‍ය සේවයේ ඉහලම තනතුරු දරණ පුද්ගලයන් අභිබවා යන මට්ටමේ නොවූ විරූ වරප‍්‍රසාද බවට පත්ව තිබේ.

උදාහරණ ලෙස, සාමාන්‍යාධිකාරී වසන්ත කුමාර්ට රුපියල් ලක්ෂ 20 ක මාසික වැටුපක් ගෙවන අතර, (ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරිගේ මාසික වැටුප රුපියල් ලක්ෂ 3 ක් පමණ වේ.) වාර්ෂික බෝනස් ලෙස රුපියල් ලක්ෂ 80 ක්, ඉන්ධන සහිත සුපිරි වාහන රැසක්, සංග‍්‍රහ දීමනා, වෛද්‍යාධාර සහ නිවාස ණය ද යනුවෙන් අතිවිශාල ධනස්කන්ධයක් මොවුන්ට වැය කරන නමුත්, මහජන බැංකුව, මුළුමනින්ම යැපෙන්නේ රාජ්‍ය ණය, රාජ්‍ය ගණුදෙනු මත ලැබෙන 56% ක දැවැන්ත ලාභ තීරුව සහ දිගින් දිගටම බැංකුවට හුස්ම ගැනීම සඳහා ලබාදෙන රාජ්‍ය බැඳුම්කර වලින් ලබාදෙන මුදල් එන්නත් වලින්ය. බැංකුවේ සැබෑ වර්ධනයට, තඹ දොයිතුවක දායකත්වයක් මේ කොන්ත‍්‍රාත් විධායකයන් ලබා දි නොමැති අතර, එහි පැවැත්මට අවශ්‍ය වන ලාභය උපයා ගැනීමට ඔවුන් අසමත් වී ඇත.

මේ අතර තුර, මහජන බැංකුවේ සේවකයන්ගේ විශ‍්‍රාම වැටුප් ගෙවීම සඳහා ස්ථාපිත කරන ලද විශ‍්‍රාම වැටුප් භාර අරමුදල් සියල්ලම දැන් වසර 10 ක සිටම ඉතා දරුණු ලෙස අවභාවිතයට ලක්කර ඇති අතර, එහි ගිණුම් වාර්තා සියල්ලම පිළිගත් ගණකාධිකාරී පිළිවෙත් උල්ලංඝනය කෙරෙමින්, ව්‍යාජ ලෙස සකස් කරමින් සිටී. මෙහි උච්චම අවස්ථාව වූයේ, ලඟදී, එනම් 29.10.2017 දින එම භාරකාර අරමුදලේ වාර්ෂික මහා සභා රැස්වීමේදී, සාමාන්‍යාධිකාරී සහ අධ්‍යක්‍ෂ මණ්ඩලය ඉදිරියේ දී ප‍්‍රතිලාභී සේවක පිරිස ගිණුම් වාර්තාව ඡන්දය ප‍්‍රකාශ කර, අනුමත කිරීම ප‍්‍රතික්ෂේප කර, එය ව්‍යාජ ලෙස සකස් කරන ලද්දක් බව මුළුමනින්ම තහවුරු කිරීමයි.

3. වෘත්තීය සමිති මර්දනය

අ  ) 1978 සිට පැවති නියෝජිතයන්ගේ පූර්ණකාලීන මුදාහැරීමේ කොන්දේසි අත්හිටුවීම.

ආ ) ස්ථානමාරු/ විනය ක‍්‍රියා / උසස්වීම්වලට අදාල නියෝජිත මණ්ඩල හා ඒකාබද්ධ මණ්ඩලය අහෝසි කිරීම.

ඇ ) උසස්වීම්/ ශ්‍රේණිගත කිරීම්/ සේවා දිගුව, පාලකයන්ගේ අනුග‍්‍රහය/ පලිගැනීම, මත පමණක් නිගමනය කිරීම.

ඈ ) වෘත්තීය සමිතියේ මත පල කිරීම් / සංනිවේදන / රැස්වීම් / සංවිධානය කිරීම්, අත්හිටුවීම / සීමා කිරීම /උසාවි තහනමට ලක් කිරීම.

ඉ  ) සේවකයන්ට/ විශ‍්‍රාමිකයන්ට එරෙහිව නඩු පැවරීම සහ ආරවුල් Disputes විසඳීමට උසාවියට යෑම.

4. බරපතල විශ‍්‍රාම වැටුප් අර්බුද.

අ  ) ප‍්‍රධාන විශ‍්‍රාම වැටුප් භාරකාර අරමුදල අවභාවිතය, අදාල නීතිරීති උල්ලංඝනය, ප‍්‍රමාණවත් මුදල් කාලීනව එන්නත් නොකිරීම, භාරකාර අරමුදලේ ගිණුම් වාර්තා විකෘති කිරීම, එහි පාලක මණ්ඩලයේ Board of Trustees                     නොකැඳවීම, වාර්තා නොපැවැත්වීම. මේවා භයානක අනතුරක ආරම්භක ක‍්‍රියාවේ.

ආ ) වැන්දඹු විශ‍්‍රාම වැටුප් අරමුදල – වාර්ෂික ගිණුම් වාර්තා / රැස්වීම් නොපැවැත්වීම, එම මුදල බැංකුවේ ගිණුම් වාර්තාවල නොදැක්වීම, එහි පැවැත්ම සහ ආයෝජන සාමාජිකයන්ට නොදැක්වීම සහ එය භාර අරමුදලකට                            පරිවර්තනය නොකර, මුදල් අවභාවිතා කිරීම. මේවා දරුණු අපරාධ වේ.

ඇ ) විශ‍්‍රාම වැටුප් කප්පාදුව – 1996 සිට කරනා නීති විරෝධී විශ‍්‍රාම වැටුප් කප්පාදුව (VCOLA අත්හිටුවීම) නිසා විශ‍්‍රාමිකයන්ට දැන් මසකට රු. 25,000/- කප්පාදුවක් සිදුවේ.

ඈ ) මෙම VCOLA අත්හිටුවීම නිසා, මින් මතුවට විශ‍්‍රාම යන සෑම කෙනෙකුටම මාසිකව විශ‍්‍රාම වැටුප වැඩිවීම නතර වේ.

ඉ  )1996 න් පසු බැඳුන ‘‘අළුත්’’ සේවකයන්ට දෙන විශ‍්‍රාම වැටුප
i ) කිසිසේත් ප‍්‍රමාණවත් නොවීම.
ii) භාරකාර අරමුදලක් ස්ථාපනය නොකිරීම සහ එම අරමුදලට කාලීනව මුදල් එන්නත් නොකිරීම.

ඊ ) විශ‍්‍රාම භාරකාර අරමුදල පිළිබඳ ව්‍යාජ ආයුඝනක වාර්තා නිර්මාණය කරවා, අරමුදලේ මුදල් අවභාවිතයට ලක් කිරීම.
මේ සියල්ල එක් වූ විට, සේවකයන්ගේ විශ‍්‍රාම දිවිය අනතුරකට ලක්කර ඇත.

5. මහජන බැංකුවේ මූල්‍ය අස්ථාවර භාවය.
මහජන බැංකුව උපයන ලාභ ප‍්‍රමාණය, සංඛ්‍යාත්මක වශයෙන් ‘‘ලොකු’’ ලෙස දැක්වූවත්, Annual Statement of Accounts ව්‍යාජ සැරසිල්ලක් වන අතර, දිගින් දිගටම, බැංකුව හුස්ම ගන්නේ රජයෙන් ලබාගන්නා දීමනා වන බැඳුම්කර සහ වෙනත් බාහිර ණය මත පමණක්ම බවත්, උපයන ලාභය කුමක් වූවත් එය ප‍්‍රමාණවත් නැති බවත්, පහත සංඛ්‍යා ලේඛන වලින් සක්සුදක් සේ පැහැදිලිය.

ලබාගත් රජයේ බැඳුම්කර ණය

1992 10 541 M 30 Yr. Bond
1996 10 056 M 10 Yr. Bond
2003 625 M 13 Yr. Bond
2006 2 000 M
2007 1 500 M Details N/A
2008 1 500 M
2016 5 000 M
Total 32 200 M

ලබාගත් වෙනත් ණය

2009 15 000 M Pensions Trust Fund
2016 3 386 M Pensions Trust Fund

මේ අතර බැංකුව මුළුමනින්ම වැඩි ලාභ ලබන්නේ ස්වයංක‍්‍රීයව Auto ලැබෙන, රාජ්‍ය ව්‍යාපාර සහ ණය වලින්ය. (56%) සැබෑ බැංකු කරණය core banking වලින් ලැබෙන්නේ ඉතා සුළු 20% වැනි ලාභ තීරුවකි. HNB / Com. Bank, core banking ලාභ තීරුව 75% ඉක්මවයි.

6. මහජන බැංකුවේ පාලනය 2006 වසරේ සිටම නුසුදුසු පුද්ගලයන්ට පවරා තිබූ අතර, මේ පුද්ගලයන් පිළිබඳ සවිස්තර වාර්තා මෙහි අමුණා ඇත. ඔබගේ දැන ගැනීම සඳහා, එහි සම්පිණ්ඩනයක් පහත පල කරමු.
ඩබ්ලිව්. කරුණාජීව
සභාපති

2006-2013

හෙජින් ගණුදෙනුවට මහජන බැංකුව සම්බන්ධ කර ගැනීම නිසා, බැංකුවට රුපියල් මිලියන 5500 ක පාඩුවක් සිදු විය. ඔහු විසින් කරන ලද වංචනික ක‍්‍රියා සියල්ල තවමත් එලිදරව් වී නොමැත.
ඔහුගේ පුතා, දුව සහ ලේලිය අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති අතර, ඔවුන් තිදෙනාම රටින් පැන ගොස් ඇත.
ගම්පහ දිස්ත‍්‍රික්කයේ වංචනික ඉඩම් ගණුදෙනුවකට, මුදල් සපයා ඇත්තේ කරුණාජීව බවත්, උසාවිය විසින් ඔහු මේ වංචාවේ සැකකරුවෙකු ලෙසත් නම් කර ඇත.

ගාමිණී සෙනරත්
සභාපති
2013-2015

වංචා, දුෂණ චෝදනා විශාල ප‍්‍රමාණයකට ඔහු සැකකරුවකු වන අතර, දැනටමත් ඇප පිට නිදහස් කර ඇත. ලඟදී නැවතත් අත්අඩංගුවට ගැනිමට වරෙන්තු නිකුත් කර තිබේ. ඔහුගේ පවුලේ සියලූම සාමාජිකයන් හා සහෝදරයා විවිධ වංචාවලට චූදිතයන් ලෙස නම් කර ඇත. මහජන බැංකුව තුළ ඔහු විසින් කරන ලද වංචා විශාල ප‍්‍රමාණයකි. ඒවා විමර්ශණය කර නැත.

පියදාස කුඩාබාලගේ
අධ්‍යක්‍ෂ මණ්ඩල සභික

අත් අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇත. ඔහු ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති සහ රක්‍ෂණ සංස්ථාවේ සභාපති ලෙසද කටයුතු කර ඇති, වංචා ගණනාවකට සම්බන්ධ පුද්ගලයෙකි.

පී.වී. පතිරණ
විශ‍්‍රාමික සාමාන්‍යාධිකාරී සහ
ඞී.ජේ.ඞී. ජයකොඩි
අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජික

මේ දෙදෙනා CIFL මූල්‍ය සමාගමේ විශාල වංචාවකට අත් අඩංගුවට ගෙන දෙමසක් රිමාන්ඞ් භාරයේ පසු විය.

නමසිවායම් වසන්ත කුමාර්
2006 සිට අද දක්වා

හෙජින් ගණුදෙනුවට වගකීම සහ ඒ දායකත්වයට චාර්ටඞ් බැංකුවෙන් අල්ලස් ලබා ගැනීම.
පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනැන්ස් සමාගමේ රුපියල් මිලියන 3200 ක වංචාවට චූදිතයන් ලෙස FCID එක නම් කර තිබීම.
බැංකුවේ ඩිජිටල් කරණ ටෙන්ඩර් අක‍්‍රමිකතා තුළින් රුපියල් මිලියන 6000 ක අවදානමකට ලක් කිරීම.
අළුත්ම COPE කමිටු වාර්තා අනුව අති විශාල ණය පහසුකම් ලබාදීම සහ අය නොකරගෙන සිටීම.
මහබැංකු බැඳුම්කර වංචාවේදී, මුදල් ඇමතිගේ නීති විරෝධී උපදෙස් පිළිපැද, ලංකාවේ විශාලතම වංචාවට දායක වීම.

හේමසිරි ප‍්‍රනාන්දු
සභාපති
2015 සිට මේ දක්වා

ජාතික ඔලිම්පික් කමිටුවේ දුෂණ ක‍්‍රියා කර ඇති බවට එම විමර්ෂණ කමිටුව වාර්තා කිරීම.
පසුගිය රජය යටතේ ටෙලිකොම් ආයතනයේ අක‍්‍රමිකතා.
දුම්රිය දෙපාර්තමේන්තුවේ Viceroy දුම්රිය ආශ‍්‍රිතව, තම පුතාගේ සමාගමටද අදාලව විශාල වංචාවකට චෝදනා ලැබීම.
බැංකුව ඩිජිටල් කරණය කිරීමේ අවිධිමත් ටෙන්ඩර් පටිපාටියට අනුමැතිය ලබාදීම.

ජෙහාන් අමරතුංග
අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජික

කබීර් හෂීම් ඇමතිතුමාට මහජන බැංකුවේ මුදලින් අල්ලස් ලබාදීම, අවිධිමත් ලෙස ණය ලබාදීම සහ ණය ලබාගැනීම, ඇතුළු විවිධ අක‍්‍රමිකතා.

නිහාල් ජයවර්ධන
හිටපු සාමාන්‍යාධිකාරී
සංජීව බණ්ඩාරනායක
ප‍්‍රධාන විධායක,
පීපල්ස් ලීසිං
ඞී.පී. කුමාරගේ
බැංකුවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී

යන සියලූ දෙනාම පීපල්ස් ලීසිං සමාගමේ රුපියල් මිලියන 3200 වංචාවේ චූදිතයන් බවට නම් කර FCID එක විසින් නීතිපති දෙපාර්තමේන්තුවට නඩු පැවරීම නිර්දේශ කිරීම.

මේවායේ දීර්ඝ විස්තර මෙහි සෙසු පත‍්‍රිකාවල සඳහන් වේ.
මහජන බැංකුව තුල දැන් පවතින අතිශයින්ම අයහපත් පරිපාලනය සහ නුසුදුසු පුද්ගලයන්ට එහි පරිපාලනය සහ වගකීම් පවරා දීම, දැන්වත් නිමා කිරීමට වහාම පියවර ගන්නා ලෙස අප ඉල්ලා සිටිමු.

මීට, විශ්වාසී,
රාජ්‍ය බැංකු විශ‍්‍රාමික සේවක සංධානය,
කැඳවුම්කරු,

ඩබිලිව්. කරුණාජීව

 

කරුණාජීව සභාපති ලෙස පත්කරන ලද්දේ 2006 වසරේදීය. ඔහු ඊට පෙර, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඩාර්ලි පාරේ කාර්යාලයේ ප‍්‍රධාන පරිපාලන නිලධාරිවරයා, මෙන්ම නීතිඥ වෘත්තිකයෙකු ද විය.
2007 දී, ආචාර්ය පී. බී. ජයසුන්දර, අජිත් නිවාඞ් කබ්රාල්, වසන්ත කුමාර් සහ කපිල ආර්යරත්න යන අයවලූන්ගේ සහභාගීත්වය ඇතිව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සුප‍්‍රසිද්ධ හෙජින් හොරකමට මහජන බැංකුවද සම්බන්ධ කරගත් අතර එහි දැනට අලාභය රුපියල් මිලියන 5500 ක් වේ.
1996 දී ස්ථාපිත කර තිබූ පීපල්ස් ලීසිං සහ ෆිනෑන්ස් PLC සමාගම, කරුණාජීව සහ ඔහුගේ අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් පුද්ගලික කරණය කරන ලද අතර, නිකුත් කරන ලද කොටස් වලින් 25% ක ප‍්‍රමාණයක් කරුණාජීව තමා වෙතම සහ පී. වී. පතිරණ නමැති බැංකුවේ හිටපු සාමාන්‍යාධිකාරී වරයාගේ නමට පවරා ගන්නා ලදී. මෙම සමාගමේ කොටස් 75% ක් මහජන බැංකුව සතුව තබාගන්නා ලදී.
මෙම කල්බදු සහ මූල්‍ය සමාගම පුද්ගලික අංශයේ සමාගමක් ලෙස ලියා පදිංචි කර තිබූ නිසා, එය මහජන බැංකුව මෙන් විගණකාධිපතිවරයාගේ විගණනයට හෝ අධීක්‍ෂණයට නතු වූයේ නැත. ස්වභාවික ලෙසම එහි විගණනයක් නොතිබුණ නිසා, පාලනය භාරව සිටින විවිධ වංචනිකයන් එය දුෂණ මධ්‍යස්ථානයක් ලෙස යොදා ගත් අතර, එහි වංචා, දුෂණ සහ මහා පරිමාණයේ මුදල් හොරකම්වල මේ පිරිස නිරත වූහ. 2015 රජය පෙරලා දැමීමෙන් පසු, FCID ය විමර්ශණයක් කර රුපියල් මිලියන 3200 ක වංචාවක් සිදුවී ඇති බව, ප‍්‍රසිද්ධියේම වාර්තා කළේය.
තම පවුල සමඟ මධ්‍යම පාන්තික නිවාස යෝජනා ක‍්‍රමයක් වන නාරාහේන්පිට ඇල්විටිගල මහල් නිවාස වල කරුණාජීව පදිංචි වී සිටි නමුත්, ඔහු ඔහුගේ දුවට සහ පුතාට කොළඹ 7 ප‍්‍රදේශයෙන් සුඛෝපභෝගී නිවාස කිහිපයක් මිලදි ගත් බවට වාර්තා විය.
2013 දී කරුණාජීව මිය ගියේය. මෙම අවමංගල්‍යයේ විශේෂයක් වූයේ එයට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ බැසිල් රාජපක්‍ෂ දෙදෙනාම සහභාගී වීම සහ Pall – Bearers ලෙස කටයුතු කිරීමයි. කරුණාජීවගේ මරණය ඔවුන්ට විශාල පාඩුවක් වූයේ මහජන බැංකුව නමැති නොසිඳෙන මුදල් උල්පතෙන් අසීමිත ලෙස මුදල් ලබා ගැනීමට කරුණාජීව පිටිවහලක් වූ බැවිනි.
රාජපක්‍ෂ රෙජිමය ජනතාව විසින් පෙරලා දැමීමෙන් පසුව, මියගිය කරුණාජීවගේ නීති විරෝධී කටයුතු කිහිපයක් පමණක් එලිදරව් විය.
යෝෂිත රාජපක්‍ෂ ප‍්‍රධාන සැකකරු වන CSN වංචාවේ තවත් සැකකරුවෙකු ලෙස කරුණාජීවගේ පුතාගේ බිරිඳ වන, ෂාඩියා කරුණාරත්න නැමැත්තියට උසාවිය විසින් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කර ඇත. ඇය ඕස්ටේ‍්‍රලියාවට පලාගොස් ඇති බව වාර්තා වේ. කරුණාජීවගේ පුතා සහ දියණියද ප‍්‍රශ්ණ කිරීම සඳහා පොලිසියෙන් සොයන නමුත්, ඒ දෙදෙනාද රටින් පලාගොස් ඇත.
ගම්පහ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඉඩම් මිලදී ගැනීමක් ගැන කරුණාජීව කෙලින්ම සම්බන්ධ බව උසාවියේ දි හෙලිවීම නිසා, ඔහුගේ අත් අකුරු පරීක්‍ෂා කර වාර්තාවක් සපයන ලෙස නියෝග නිකුත් කර තිබේ. මෙම නඩුවේදී අනාවරණය වී ඇත්තේ අදාල ඉඩම මිලදී ගැනීමට අවශ්‍ය මුදල්, කරුණාජීව විසින් සපයා ඇති බවයි.
ගුවන් ටිකට්පත් නිකුත් කරන සමාගමකට අදාලව සිදුවී ඇති රුපියල් මිලියන 45 ක වංචාවට, නාමල් රාජපක්‍ෂව 15-08-2016 දින රිමාන්ඞ් භාරයට පත් කරන ලද අතර, මෙම වංචාවේ අනිත් සැකකරු වන්නේ කරුණාජීව ගේ පුත්, ඉන්දික ප‍්‍රභාත් කරුණාජීවයි. ඔහුටද විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබේ.
කරුණාජීව විසින් හවුල් වී මහජන බැංකුව තුල කරන ලද වංචා, දුෂණ සහ මූල්‍යමය මගඩි බොහොමයක් තවමත් අනාවරණය වී නැති අතර, ශ‍්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාව සෙවීමේ කමිටුව වැනි ජනාධිපති කොමිසමක් පත්කල හොත්, මොවුන් විසින් මංකොල්ල කා ඇති මහජන මුදල් දැවැන්ත ප‍්‍රමාණය අනාවරණය කර ගත හැක.

 

 

ගාමිණී සෙනරත්

 

හිටපු රාජ්‍ය පරිපාලන නිලධාරියෙකු වන SLAS ගාමිණී සෙනරත්, රාජපක්‍ෂ ජනාධිපතිගේ මාණ්ඩලික ප‍්‍රධානියාව සිටියදීම රාජ්‍ය සංස්ථා ගණනාවක සභාපති තනතුරු වලට පත් කරන ලදී. 2013 දී කරුණා ජීවගේ මරණයෙන් පසුව, මහජන බැංකුවේ සභාපති ලෙස ඔහු පත් කරන ලදුව 2015 දී රජය පෙරලෙන තුරු එම තනතුරද දරා සිටියේය.
ඔහු මීට පෙර මුදල් විශුද්ධිකරණ පණත යටතේ අත්අඩංගුවට ගෙන, කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් උසාවිය විසින් ඇප පිට මුදා හරින ලදී.
පොලිස් වාර්තා අනුව, ඔහුට රුපියල් මිලියන 700 ක වත්කම් ඇති බවත්, එවැනි වත්කම් උපයා ගත් ආකාරය පැහැදිලි කිරීමට අපොහොසත් වී ඇත. තවද එම කාල පරිච්ෙඡ්දය තුළ ඔහු ආදායම් බදු කිසිවක් ගෙවා නැත. ඔහු විසින් මිලදී ගෙන දී ඇති දේපල ඔහුගේ නමින්ම, බිරිඳගේ නමින් සහ පුතුගේ නමින් ඇති බවට ලේඛන පොලිසිය සොයාගෙන ඇත.
තවත් පොලිස් විමර්ශණයකදී හෙලිවී ඇත්තේ පීපල්ස් ලීසිං හා ෆිනෑන්ස් සමාගමේ ද සභාපති ලෙස කටයුතු කරද්දී එහි රුපියල් මිලියන 3200 ක වංචා සිදුවී ඇති බවයි.
මෙම පොලිස් විමර්ශණයේදී, එම මුල්‍ය සමාගමේ අධ්‍යක්‍ෂවරුන් මේ හොරකමට චූදිතයන් බව පොලීසිය දැනටමත් නිවේදනය කර ඇත. (1) ගාමිණී සෙනරත්, (2) එන්. වසන්ත කුමාර් (මහජන බැංකුවේ වර්තමාන සාමාන්‍යාධිකාරී), (3) නිහාල් ජයවර්ධන (බැංකුවේ හිටපු සාමාන්‍යාධිකාරී) (4) සංජීව බණ්ඩාරනායක, මුල්‍ය සමාගමේ සාමාන්‍යාධිකාරී (5) ඞී.පී. කුමාරගේ, මූල්‍ය සමාගමේ ප‍්‍රධාන විධායක සහ මහජන බැංකුවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, යන අයවලූන් වංචාවට චූදිතයන් වේ.
FCID විමර්ශණයේ නම් කර ඇති අනෙක් චූදිතයන් වන්නේ, සජින් වාස් ගුණවර්ධන, සශ‍්‍රීන්ද්‍ර රාජපක්‍ෂ, බි‍්‍රගේඩියර් H.D.G. රණසිංහ, ලලිත් වීරතුංග සහ තවත් අය වේ.
මෙම FCID වාර්තාව, නීතිපති,Attorney General වෙත ඉදිරිපත් කර, චූදිතයන්ට එරෙහිව නඩු පැවරීමට අවසර ඉල්ලා ඇතත්, දැන් වසරකටත් අධික කාලයක් ගත වී ඇති නමුත්, මෙය දේශපාලන බලය යොදා හිරකරගෙන සිටින බව වාර්තා වේ. 2015 ජනවාරි 8 වන දා රාත‍්‍රියේ ගාමිණී සෙනරත්, මහජන බැංකුවේ මුදල් සුරක්‍ෂිතාගාරයට Cash Vault එකට ඇතුළු වූ බවත්, අනතුරුව මුදල් නෝට්ටු පිරවූ මළු විශාල තොගයක් පිටතට ගෙන ලොරියක පටවා රැගෙන ගිය බවටත් පොලිස් විමර්ශණයක් ද ආරම්භ කල නමුත්, මෙහි ප‍්‍රගතියක් වාර්තා වී නොමැත. මුදල් සුරක්‍ෂිතාගාරය පැය 24 තුලම, ආරක්‍ෂක නිලධාරීන් සිටින ස්ථානයක් සහ එහි දොරවල් මෙන්ම සුරක්‍ෂිතාගාරය ද්විත්ව පාලනය යටතේ නිලධාරීන් කිහිප දෙනෙකුගේම පුද්ගලික භාරයේ තිබෙන බැවින්, මේ හොරකම පහසුවෙන්ම අනාවරණය කරගත හැකි නමුත්, පැහැදිලිවම මෙය යට ගසා ඇති හොරකමක් බව, පෙනී යයි.
ගාමිණී සෙනරත් විසින් මහජන බැංකුවේ මුදල් මංකොල්ල කා ඇති ප‍්‍රමාණය ගැන කිසිත් විමර්ශණයක් නැත.
මේ වකවානුවේදී මහජන බැංකුවේ ලබාදුන් එහෙත්, නොගෙවන ලද ණය ප‍්‍රමාණය එකතුව 2014 අවසන් වන විට, රුපියල් මිලියන 30,000 ඉක්මවයි.

 

එන්. වසන්ත කුමාර්

 

නමසිවායම් වසන්ත කුමාර් මහජන බැංකුවට බඳවා ගන්නා ලද්දේ 2001 වර්ෂයේ දී, කොන්ත‍්‍රාත් පදනමක් මත, ‘‘විදේශ
විනිමය වෙළෙන්දෙකු’’Foreign exchange dealer ලෙසය. ඔහුට බැංකු කරණය පිළිබඳව කිසිත් වෘත්තීය සුදුසුකමක් නොමැති අතර, දැන් වසර 16 ක් එක දිගට, කොන්ත‍්‍රාත් සේවකයෙක් ලෙස සිටින අතරම, හිටි හැටියේ සාමාන්‍යාධිකාරී ධූරයට උසස් කරනු ලැබීය. ඒ රාජපක්‍ෂ රෙජිමය කාලයේ සිදුකල හෙජින් වංචාවේදී, එයට දායකවීම උදෙසා කල කලගුණ සැලකීමක් වශයෙනි. 2006 දී සාමාන්‍යාධිකාරී ධූරයට පත්කල මේ කොන්ත‍්‍රාත් සේවකයා, තවමත් එම පදනමේම සිටින අතර, ඔහුගේ මාසික වැටුප රුපියල් ලක්‍ෂ 20 කි. වාර්ෂික බෝනස් මුදල රුපියල් ලක්‍ෂ 80 කි. අති විශාල තවත් වරප‍්‍රසාද රැසකට හිමිකම් ලබා දී ඇති වසන්ත කුමාර්, ලංකාවේ කිසිම බලවතෙකුට ඉවත් කල නොහැකි, බලගතු චණ්ඩියෙක් බවට පත්වූයේ, ලංකාවේ සුපිරි දේශපාලන / ව්‍යාපාරික
පැලැන්තියට, මහජන බැංකුවේ මුදල් ගසාකෑමට සේවාවන් සපයන බැවිනි.
2006 වසරේදී සිදුවූ සුප‍්‍රසිද්ධ ඛනිජ තෙල් සංස්ථාවේ හෙජින් ගණුදෙනුවේදී, එයට මහජන බැංකුව සම්බන්ධ විය යුතු බවට, අධ්‍යක්‍ෂ මණ්ඩලයට නිර්දේශ කලේ වසන්ත කුමාර් සහ කපිල ආරියරත්න විසිනි. මෙහිදී වැදගත් කරුණක් වන්නේ, එවකට ලංකා බැංකුවේ ප‍්‍රධාන මූල්‍ය නිලධාරියා CFO වූ සාලිය රාජකරුණාද, ලංකා බැංකුව මේ හෙජින් ගිවිසුමට ඇතුළු විය යුතු බවට නිර්දේශ කරන ලදී. මේ තිදෙනාම, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් මේ බැංකු දෙකේ ස්ථානගත කරන ලද Planted Agents ඔවුන්ගේ ඒජන්තයන්ය. එහෙත්, ලංකා බැංකුවේ අධ්‍යක්‍ෂ මණ්ඩලය හෙජින් ගිවිසුමට ඇතුළු වීම ප‍්‍රතික්ෂේප කිරීම නිසා, හෙජින් මර උගුලෙන් ලංකා බැංකුව බේරුණේය.
මෙම හෙජින් ගණුදෙනුව, විදේශීය මුල්‍ය කුමණ්ත‍්‍රණයකින් බිහිවූවක් වූ අතර, එයට කෙලින්ම සම්බන්ධ වූ ජාත්‍යන්තර බැංකු දෙක වන්නේ, ස්ටැන්ඩර්ඞ් චාර්ටඞ් බැංකුව (ලන්ඩන් සහ කොළඹ) සහ සිටි බැංකුව (ලන්ඩන් සහ කොළඹ) ය. සාලිය රාජකරුණා, සිටි බෑන්ක් (ලන්ඩන්* ශාඛාවේ දීර්ඝ කාලයක් සේවය කර ඇති, ඔවුන්ගේ ඒජන්තයා වු නමුත්, ලංකා බැංකුව හොරකමට ඈඳා ගැනීමට ඔහු අසාර්ථක විය.
මහජන බැංකුව මේ හොර ගණුදෙනුවට සම්බන්ධ වීමෙන් පසුව, වසන්ත කුමාර් සහ කපිල ආරියරත්න යන දෙදෙනාටම, ස්ටැන්ඩර්ඞ් චාර්ටඞ් බැංකුව විසින් ඩුබායි නගරයේ නිවාඩුවක් සහ සාප්පු සවාරියක් ප‍්‍රදානය කල අතර, ඔවුන්ට නොමිලේ ගුවන් ටිකට් පත්, සහ බඩු ගැනීමට විශාල මුදල් තොගයක් ස්ටැන්ඩර්ඞ් චාටර්ඞ් බැංකුව විසින් ලබා දෙන ලදී. මේ බව දේශීය සහ විදේශීය ජනමාධ්‍ය ප‍්‍රචාරය කල නමුත්, මේ පුද්ගලයන්ට හෝ චාර්ටඞ් බැංකුවට එරෙහිව කිසිත් පියවරක් රජය ගත්තේ නැත.
කොළඹ චාර්ටඞ් බැංකුවේ එවකට ප‍්‍රධාන ගණකාධිකාරිණිය ලෙස කටයුතු කල කාන්තාව, මෙම හොර ගිවිසුම පිළිබඳව චාර්ටඞ් බැංකුව ක‍්‍රියාකල වංචනික ආකාරය හෙලා දකිමින්, තම ධූරයෙන් ඉල්ලා අස්වූ අතර, රාජපක්‍ෂ රෙජිමය පෙරලා දැමීමෙන් පසු, අල්ලස් සහ දුෂණ කොමිසම විසින් මේ සිද්ධිය පිළිබඳව කල විමර්ශණයකදී, ඇය සාක්‍ෂි දීමට ඉදිරිපත් විය.
හෙජින් ගිවිසුම පිළිබඳව, ශ‍්‍රී ලංකා මහ බැංකුවේ, බැංකු විමර්ශණ දෙපාර්තමේන්තුවේ, අධ්‍යක්‍ෂ,Director Bank Supervision Department, B. D. W. A. සිල්වා මහතා විසින් මහජන බැංකුවේ සභාපති, කරුණාජීවට ලිපියක් යවමින්, මහජන බැංකුව මෙවැනි ගණුදෙනුවකට එලඹීමට තරම් මූල්‍ය හැකියාවක් Financial Capacity නොමැති බැවින්, මෙම ගණුදෙනුවට එළඹුනේ කෙසේදැයි, පැහැදිලි කරන ලෙස ඉල්ලා සිටි නමුත් කරුණාජීව තම දේශපාලන හයිය පාවිච්චි කර, එම ඉල්ලූම නොසලකා හැරියේය.
මෙම ගණුදෙනුව නිසා, චාර්ටඞ් බැංකුව සහ සිටි බැංකුව තුල, මහජන බැංකුවට අයත් තැන්පත් මුදල් රුපියල් බිලියන 3 ක්, එම බැංකු අත්පත් කරගත් අතර,appropriated as dues ගිවිසුම නිසා ඇති වූ වෙනත් වගකීම් මත තවත් රුපියල් බිලියන 2.5 ක් පමණ ගෙවීමට මහජන බැංකුවට සිදුවිය. මේ අනුව, හෙජින් ගිවිසුම නිසා බැංකුවට දරන්නට සිදු වූ පාඩුව රුපියල් බිලියන 5.5 ක් නොහොත් රුපියල් මිලියන 5 500 කි. වසන්ත කුමාර් සාමාන්‍යාධිකාරී ධූරයට පත්කලේ මේ පාඩුව සහ අර අල්ලස් ගත් පසුවය.
හෙජින් වංචාව පිළිබඳව අල්ලස් සහ දුෂණ කොමිසමට, මහජන බැංකුවේ විශ‍්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වූ ටී. රුසිරිපාල පැමිණිල්ලක් කල අතර, ඒ ගැන පරීක්‍ෂණයක් ආරම්භ කර, 2017 ජනවාරි 14 වනදා ජනමාධ්‍ය වාර්තා කළේ, එම පරීක්‍ෂණය අවසන් කර, වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කල බවය. අද වන තුරු, නීතිපති චූදිතයන්ට නඩු පැවරීමට කටයුතු කර නැත.
රටේ මහත් ආන්දෝලනයක් ඇති කල මහජන බැංකුවේ ඩිජිටල් කරණය පිළිබඳ ටෙන්ඩර් වංචාවට, වසන්ත කුමාර් සහ හේමසිරි ප‍්‍රනාන්දු කෙලින්ම වගකිව යුතුය. මේ සඳහා අතිශයින්ම අවිධිමත් ලෙස රු. මිලියන 6000 ක පමණ වැයවෙන කොන්ත‍්‍රාත්තුවක් ඊට ටික කලකට පෙර ඉලෙක්ට්‍රොනික උපාංග පමණක් විකුණමින් සිටි JIT, Just In Time නමැති කුඩා සමාගමකට ටෙන්ඩරය ලබාදුන් ආකාරය ගැන, ජන මාධ්‍ය තුලින් (මව්බිම පුවත්පත පමණි) බොහෝ කරුණු හෙලිදරව් විමත් සමඟ, අගමැති සහ අදාල ඇමතිවරයා වන කබීර් හෂීම් එකතු වී, ශ‍්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර හොරකම සිද්ධියේ ක‍්‍රියාකල ආකාරයෙන්ම,‘‘සොයා බලන කමිටුවක්’’ පත් කර, මාස කිහිපයකට පසු ‘‘කිසිත් වරදක් සිදු වී නැත’’ බව පවසා හොරකම මුළුමනින්ම යටපත් කරන ලදී.
කබීර් හෂීම් ඇමතිට මාවනැල්ලේ සිය දේශපාලන කටයුතු සඳහා මහජන බැංකුව විසින් රුපියල් කෝටි ගණනක් වටිනා භාණ්ඩ සහ ද්‍රව්‍ය, බැංකුවේ වාහන වලින් මාවනැල්ලට පිටත් කර යවා, ඔහුට අල්ලස් ලබා දී, මේ නිහඩ කිරීම සිදු කර ඇත. මේ ගැන සියලූ තොරතුරු අප සතුව තිබේ.
ඩිජිටල් හොරකම වසා ගැනීමට, එක් අතකින් අදාල දේශපාලකයන්ට විශාල අල්ලස් ලබාදුන් අතරම මහජන බැංකුව අනිත් අතට දණ්ඩ අතට ගෙන, වංචාව එලිදරව් කරනා සියලූ පුද්ගලයන්ට උපරිම පහරදීම ආරම්භ කරන ලදී. ඩිජිටල් හොර ටෙන්ඩරය ගැන වැදගත් තොරතුරු ‘‘මව්බිම’’ පුවත් පත තුළින් ටී. රුසිරිපාල විසින් අනාවරණය කල අතර, මව්බිම පුවත්පතට සහ රුසිරිපාලට එරෙහිව අපහාස නඩුවක් පවරන බවට ප‍්‍රකාශ කල වසන්ත කුමාර්, රුසිරිපාලට එරෙහිව පමණක් නඩුවක් පවරා මහජන බැංකුවට අපහාස කිරීම ගැන රුපියල් ලක්‍ෂ 500 ක වන්දි මුදලක් ඉල්ලා සිටී. මේ නඩුව සඳහා, පරතලිංගම් නමැති ජනාධිපති නීතිඥයෙකු යොදවා, රුපියල් මිලියන ගණනක් නඩු ගාස්තු වශයෙන් දැනටමත් වැය කර ඇත.
ඩිජිටල් හොරකම ගැන පත‍්‍රිකාවක්, බැංකුවේ සේවකයන් වෙත නිකුත් කල වෘත්තීය සමිති නිලධාරීන් දෙදෙනෙකුට චෝදනා පත‍්‍ර නිකුත් කර, ඔවුන් සේවයෙන් පහ කිරීමට සියලූ සැලසුම් සකස් කල නමුත්, එම සේවකයන් දෙදෙනා දිසා අධිකරණය සහ, අනතුරුව බැංකුව ගොණුකල ඇපෑල, අභියාචනාධිකරණයට ද යොමු කළ නමුත්, අස් කිරීමට එරෙහිව දැන් වාරණ නියෝගයක් තහවුරු කර ඇති බැවින්, රැකියා තාවකාලිකව බේරගත් නමුත්, මේ බිය ජනක මර්දනයට දැන් සේවක පිරිස තැති ගැන්වී සිටිති.
බැංකුවේ ආදිපාදි වීදියේ ගිණුමකින් රුපියල් මිලියන 13 ක මුදලක් සොරාගැනීමට වසන්ත කුමාර් ගේ ආධාරකරුවෙක වන කිරි බංඩා නොහොත් ඒ. කේ. බණ්ඩාර නමැති සහකාර සාමාන්‍යාධිකාරී, සියලූ ලියකියවිලි වංචා සහගත ලෙස වෙනස් කිරීමට මග සැලසූ වසන්ත කුමාර් ට එරෙහිව ගිණුම අයිතිකරු කඩුවෙල මහෙස්ත‍්‍රාත් උසාවියෙන් වාරණ නියෝගයක් වසන්ත කුමාර් එරෙහිව ලබාගත් අතර, එයට ද ඇපැල් කල නමුත්, වාණිජ උපරිමාධිකරණය විසින් වාරණ නියෝගය තහවුරු කර වසන්ත කුමාර්ගේ පිළිතුර ප‍්‍රතික්ෂේප කර ඇත.
නාමල් රාජපක්‍ෂගේ නිල් බලකායේ පුද්ගලයන් සිය ගණනක් බැංකුවට බඳවා ගැනීමට, වසන්ත කුමාර් අවිධිමත් ලෙස ක‍්‍රියාකරන විට එයට එරෙහිව උසාවියට ගිය වෙනත් අයදුම්කරුවන් පිරිසක්, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් ලබාගත් අතර, මහජන බැංකුව විසින් එම අයදුම් කරුවන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කර ඇතැයි ප‍්‍රකාශ කල ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් කරුවන් 72 ට, රු. 75,000/- බැගින් වන්දි මුදල් ගෙවීමටත්, සියලූ දෙනාටම බැංකුවේ පත්වීම් ලබාදෙන ලෙසටත් නියෝග කරන ලදී. මේ අනුව රුපියල් ලක්‍ෂ 54 ක් :(Rs. 5.4 Million) වන්දි ලෙස ගෙවා දැන් සේවකයන් 72, සේවයට බඳවා ගෙන ඇත.
මහ බැංකුවේ බැඳුම්කර වංචාව පිළිබඳව ජනාධිපති කොමිසමට වසන්ත කුමාර්වද කැඳවනු ලැබූ අතර, සාක්‍ෂි දීමේදී චණ්ඩියෙකු ලෙස හැසිරෙමින්, හිටපු මුදල් ඇමති රවී කරුණානායක දුන් නියෝග ගැන අවඥා සහගතව කථා කල නමුත්, එම නීති විරෝධී නියෝග පිලිපැද්දේ ඇයි ද යන්න ගැනත්, එම වංචනික ක‍්‍රියාවට ඔහුගේ වගකීම ප‍්‍රශ්න කොකල නිසාත්, උජාරුවෙන් පසුවන මේ වංචනිකයා, දැන් වසර 11 ක් තිස්සේම කර ඇත්තේ නීති විරෝධී ලෙස ක‍්‍රියාකිරීමයි.

ජනාධිපතිතුමනි,

මෙවැනි නින්දිත කළු වාර්තාවක් ඇති, හිරගෙදර යැවිය යුතු අපරාධකාරයෙකු වන වසන්ත කුමාර්, ඔබ ජනාධිපති ධූරය දරද්දී, මහජනයාගේ මුදල් කෝටි ගණනක් ඇති ජාතික ආයතනයක් වන මහජන බැංකුවේ සාමාන්‍යාධිකාරයා ලෙස තවදුරටත් රඳවා තබා ගැනීම ඔබගේ තනතුරටත්, ඔබගේ රජයටත්, බලවත් අපකීර්තියක් ගෙන දෙන්නකි.

 

පී.වී. පතිරණ
හිරබත් කෑ මහජන බැංකුවේ හිටපු සාමාන්‍යාධිකාරී.

 

2009 අප‍්‍රියෙල් මාසයේ දී පී. වී. පතිරණ සාමාන්‍යාධිකාරී ධූරයට පත් කරන ලදී. ඔහු විශ‍්‍රාම යනවිට, පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් අනුබද්ධ ආයතනයේ අධ්‍යක්‍ෂකවරයෙක් ලෙස පත්වීමක් ලැබුවේය.
ඔහු ශ‍්‍රී ලංකා මහ බැංකුවේ උපදේශක ධූරයකටද පත් කරන ලදී. එයින් ද ඔහුට මුදලක් උපයා ගැනීමට හැකිවිය.
CIFL නමැති මුල්‍ය සමාගමේ විශාල වශයෙන් මුදල් ආයෝජනය කල පතිරණ, එහි අධ්‍යක්‍ෂවරයෙකු ලෙසද පත්මක් ලැබුවේය. මේ අතරතුර, මහජන බැංකුවේ අධ්‍යක්‍ෂකවරයෙක් වූ ඞී. ජේ. ඞී. ජයකොඩි මහතාද, CIFL සමාගමේ අධ්‍යක්‍ෂවරයෙකු ලෙස පත්විය.
CIFL සමාගමේ සිදු වූ විශාල වංචා ගණනාවක් නිසා තැන්පත්කරුවන් විසින් අධ්‍යක්‍ෂවරුන් වූ පී.වී. පතිරණ සහ ඞී. ජේ. ඞී. ජයකොඩිට විරුද්ධව වංචා විමර්ශණ පොලිසියට පැමිණිලි කල අතර, ඔවුන් අත් අඩංගුවට ගෙන, උසාවිය විසින් රිමාන්ඞ් භාරයට පත්කරන ලදී. ඔවුන් මාස 2 කට වැඩි කාලයක් බන්ධනාගාර ගතව සිටියහ.
දැන් රටේ තිබෙන අළුත්ම ආරංචිය වන්නේ මහජන බැංකුවේ සභාපතිව සිටි ගාමිණී සෙනරත් සහ බැංකුවේ අධ්‍යක්‍ෂ ධූරයක් දැරූ කුඩා බාලගේ නැමැත්තා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට ඔවුන් සොයන බවයි. ගාමිණී සෙනරත් දැනටමත් වෙනත් වංචාවකට ඇප පිට සිටින පුද්ගලයෙකි.
මේ අනුව බලන කල, මහජන බැංකුව නමැති රජය සතු ප‍්‍රධාන බැංකුව වංචාකාරයන්, හොරුන් සහ ත‍්‍රාඩයන්ගේ කෙලි බිමක් වී ඇති බව මහජනයාට වැටහෙනු ඇත.
මහ බැංකුවේ බැඳුම්කර වංචාවට පත්කල ආකාරයේ ජනාධීපති කොමිසමක් පත් කරන්නේ නම්, මෙහි සේවය කරන සහ සේවය කල සිය ගණනක් නිලධාරීන්ට ද පී. වී. පතිරණ වාගේම හිරබත් කන්නට සිදුවනු ඇති බව නම් සක්සුදක් සේ පැහැදිලිය. මහජන බැංකුව දුෂණ ගුහාවකි.

 

හේමසිරි ප‍්‍රනාන්දු
සභාපති

2015 දී නව රජය විසින් හේමසිරි ප‍්‍රනාන්දු මහජන බැංකුවේ සභාපති තනතුරට පත්කරන ලදී. ඒ ITN රූපවාහිණී ආයතනයේ සභාපති තනතුරට ද අමතරවය.
තවද පසුගිය රජය විසින් ද අධ්‍යක්‍ෂ තනතුරක සිටි ජෙහාන් අමරතුංග නමැති කුප‍්‍රකට පුද්ගලයා ද, නැවත වරක් අධ්‍යක්‍ෂ
ධූරයට පත් කරන ලදී.
මාස 11 කට පසු, 2015 දෙසැම්බර් 15 වන දා ලංකා බැංකු සේවක සංගමය, රාජ්‍ය අයවැයට එරෙහිව, මුළුමනින්ම ව්‍යාජ
කරුණු ඉදිරිපත් කරමින්, බැංකු 20 ක සේවකයන් 29,000 ක් සහභාගී වුන දේශපාලන වැඩවර්ජනයක් කලේ, සෙසු වෘත්තීය සමිති
පොදුවේ ගත් වැඩවර්ජනය නොකිරීමේ තීරණය නොතකමින්, තනි සංගමයක් ලෙසය. එම වැඩ වර්ජනය සාර්ථකව දියත් කිරීමට
හේමසිරි ප‍්‍රනාන්දු සහ සාමාන්‍යාධිකාරී වසන්ත කුමාර්, සංගම් නායක ඒ. කේ. බණ්ඩාර නමැති රාජපක්‍ෂ පාලනයේ ගැත්තාට සම්පූර්ණ පහසුකම් සැලසුවේය.
මේ ද්‍රෝහී ක‍්‍රියාවෙන් පසු, ජාතික සේවක සංගමය හේමසිරි ප‍්‍රනාන්දුට එරෙහිව, එක්සත් ජාතික පක්‍ෂයේ ඉහල නායකත්වයට පැමිණිලි රාශියක් කල අතර, ඉන් එකක් වූයේ, රනිල් වික‍්‍රමසිංහ මහතාට බැංකුව තුල හේමසිරි ප‍්‍රසිද්ධියේ කුණු හරුපයෙන් බැණ වදින බවය. ජාතික සේවක සංගමයේ විශාල වෑයමකින් පසු, 2016 ජනවාරි 05 වන දා අගමැතිතුමා නිවේදනයක් නිකුත් කර මහජන බැංකුවේ සභාපති ලෙස නිශ්ශංඛ නානායක්කාර මහතා පත්කල බවත්, ඉන් අනතුරුව සියලූම රාජ්‍ය බැංකු වල සභාපතිවරුන් සහ අධ්‍යක්‍ෂ මණ්ඩල වලට ඉල්ලා අස්වන ලෙස ඉල්ලීමක් ද කරන ලදී. මේ නිවේදනය තුට්ටුවකටවත් මායිම් නොකල හේමසිරි ප‍්‍රනාන්දු, තම තනතුරෙන් ඉල්ලා අස්වීම ප‍්‍රතික්ෂේප කල අතර, නිශ්ශංඛ නානායක්කාරට තමා පත්කල තනතුරේ වැඩ බාර ගැනීමට නොහැකි විය.
මේ සිද්ධියෙන් පෙනී ගියේ, හේමසිරි ප‍්‍රනාන්දු රජයේ බලවත් පිරිසකගේ අනුග‍්‍රහය ලබන බවය.
හේමසිරි ප‍්‍රනාන්දු මින් පසුව, ජාතික සේවක සංගමයේ ක‍්‍රියාකාරින්ට පහර පිට පහර දෙමින්, ඔහුට සුපුරුදු වනාතමුල්ල භාෂාවෙන් අමතමින්, බියවද්දමින් සේවකයන් ඈත පලාත්වලට මාරු කරමින් භීෂණ සමයක් ඇති කර, JSS විරෝධය  පාගා දැම්මේය. මීලගට කුඩා වූ නිලධාරී සංගමයටත්, JVP කුඩා සංගමයටත් පහර දෙමින් තමන්ට අවනත නොවන, බැංකු සේවක සංගමයේ පුද්ගලයන් මතද භීෂණය මුදා හැරියේය.
අද වන විට, ලංකා බැංකු සේවක සංගමයේ බහුතර ශාඛාවද මුළුමනින්ම නිහඩ කර, මහජන බැංකුව තුළ විරෝධයක්
නැති, ඒකාධිපති පාලනයක් සහ දැවැන්ත සම්පත් මංකොල්ලයක් ගෙන යමින් සිටී.
හේමසිරි ප‍්‍රනාන්දුගේ සියලූ අතීත වාර්තාවන්, දුෂණයෙන් පිරුණු ඒවාය. දුම්රිය දෙපාර්තමේන්තුවේ Vice Roy නමැති සුඛෝපභෝගී දුම්රිය සහ තවත් මැදිරි 3 කට සේවා සපයන කොන්ත‍්‍රාත්තුවක්, හේමසිරි ප‍්‍රනාන්දුට අයත් JF Tours and Travels Lanka ආයතනය ආරම්භ කර තිබිණ. එම සමාගම දැන් අයිතිවන්නේ හේමසිරි ප‍්‍රනාන්දුගේ පුත‍්‍රයාටය. මෙම කොන්ත‍්‍රාත්තුවට අනුව, දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබිය යුතු රුපියල් මිලියන 35 ක මුදලක් ගෙවීම පැහැර හැර ඇති බවට, විගණන වාර්තාවකින් හෙලිදරව් වීම සහ දුම්රිය වෘත්තීය සමිති මේ ගැනත්, දෙපාර්තමේන්තුවේ පරිශ‍්‍ර, සම්පත් නොමිලේ අයථා ලෙස පරිහරණය කරමින් සිටින බවටත් නිවේදන නිකුත් කලත්, ඒ ගැන කිසිත් විමර්ශණයක් ද රජය පැත්තෙන් සිදු නොවීය. මේ අතර, මහජන බැංකුව සහ අනුබද්ධ ආයතන විසින් රුපියල් මිලියන 300 ක් ප‍්‍රධානය කර ජාත්‍යන්තර දුම්රිය කෞතුකාගාරයක් තැනීමට දැන් කටයුතු කරමින් සිටින අතර, මේ ව්‍යාපෘතින් කෙලින්ම, ඔහුගේ පුද්ගලික සමාගමේ ව්‍යාපාරික කටයුතු වලට සම්බන්ධ කර සංචාරකයන් කෞතුකාගාරයට අද්දවා, Vice Roy දුම්රියේ ජාවාරම වැඩි දියුණු කර ගැනීමත්, ඔහුගේ ලාභය තෙගුණ කිරීමටත්, මෙසේ රාජ්‍ය සම්පත් යොදා ගනිමින් සිටී.
ජාතික ඔලිම්පික් කමිටුවේ, 20 වසරක් සභාපති ලෙස රැඳී සිටිමින් නිලවරණ නොපවත්වා විශාල අක‍්‍රමිකතා රැසක් සිදුකර ඇති බවට, ඒ ගැන විමර්ෂණය කළ කමිටුවක් වාර්තා කර ඇති නමුත්, හේමසිරි ප‍්‍රනාන්දු මේ දුෂිත දේශපාලන අනුග‍්‍රහය යටතේ යහතින් කල් ගෙවයි.
COPE කමිටුවේ අළුත්ම වාර්තාව (2016-09-01 සිට 2017-02-28 දක්වා) අනුව මහජන බැංකුවේ සහ පීපස්ල් ලීසිං සමාගමේ අක‍්‍රමිකතා රාශියක් එලිදරව් කර තිබේ. මහජන බැංකුව විසින් කැන්ඩි සිටි සෙන්ටර් ඉදිකිරීමේ දී රුපියල් මිලියන 395 ක පහසුකම් ලබා දී තිබුණි. මාස 3 කට පසු මේ මුදල අක‍්‍රිය ණයක් බවට පත් කර ඇත. තවත් ව්‍යාපාරිකයෙකුට රුපියල් මිලියන 494 ක් ණයක් ලබාදී, එයද ඉක්මනින්ම අක‍්‍රිය බවට පත්ව තිබේ. රුපියල් මිලියන 1964 ක අක‍්‍රමිකතාවයක් ද COPE වාර්තාවේ සඳහන් කර ඇත. බැංකුවේ ඩිජිටල් කරණය ගැන COPE කමිටුව ප‍්‍රශ්න මතු කර ඇත.
අප දන්නා ආකාරයට මේ COPE අනාවරණයන් සියල්ලම වැහි බිංදුවක් තරම් කුඩාය. මහජන බැංකුව තුළ සැබවින්ම සිදුවන්නේ මහ පරිමාණයේ වංචා, සහ දැවැන්ත මුදල් හොයන ජාවාරම්ය. මේවායේ සියලූ තොරතුරු බැංකුවේ සේවකයන් පිරිසක් දන්නා අතර, අවදානම වැඩි නිසා, ප‍්‍රසිද්ධියට පත් නොවේ.
අද වන විට මහජන බැංකුවේ කටයුතු නිරීක්‍ෂණය කරන පුද්ගලයන්ගේ මතය වී ඇත්තේ හේමසිරි ප‍්‍රනාන්දුව මෙසේ ආරක්‍ෂා කරන්නේ ජනාධිපතිතුමා සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ ඔවුන් වටේ සිටිනා බලවතුන් බවයි.
මෙය වැරදි නම්, නිවැරදි කිරීමට, ජනාධිපතිතුමා පියවර ගත යුතු වේ.

නිමි .

Author

admin

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *