බැඳුම්කර කොමිසමේ දී රාජ්‍ය බැංකු විධායකයින්ගෙන් ලබාගත්,
‘‘පෙරා ගන්නා ලද සාක්‍ෂි’’

                        බැඳුම්කර කොමිසම විසින් රාජ්‍ය බැංකු සභාපතිවරුන් සහ මහා කලමණාකාරවරුන් ප‍්‍රමුඛ අදාල විධායකයින් සාක්‍ෂි ලබාගැනීම සඳහා කැඳවන ලදී. මෙහිදී සිදුවන්නේ, අසන ලද ප‍්‍රශ්නවලට පිළිතුරු සැපයීමය.

                        රජයේ නීතිඥ පිරිස විසින්, ප‍්‍රශ්ණ ඇසීම තුලින්, දිවුරුම් දී ලබාගත් සාක්‍ෂි අනුව, 2015 පෙබරවාරි 27 වන දා සහ 2016 මාර්තු 29 සහ 31 වනදා බැඳුම්කර නිකුතු කිරීමට පෙර දිනයන්වල, දෙවතාවක්, හිටපු මුදල් ඇමතිතුමා රාජ්‍ය බැංකු විධායකයන් රැස්වීමකට කැඳවූ බවත්, එම රැස්වීමට භාණ්ඩාගාර උපදේශක පාස්කරලිංගම් සහ මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති සමරසිරි ද සහභාගී වූ බවත්, තහවුරු කරගෙන ඇත. තවද, 1 වන රැස්වීමේදී, රාජ්‍ය බැංකුවලට උපදෙස් දුන් මුදල් ඇමති, පසුදින පැවැත්වෙන බැඳුම්කර නිකුතුවේදී, අඩුපොලියකට බැඳුම්කර අයදුම් කල යුතු බවට උපදෙස් දෙන ලද බවත්, මුදල් ඇමති සමග පැවති 2 වන රැස්වීමේදී ඔහුගේ උපදෙස් පෙර අවස්ථාවේ පිළිපැදීම නිසා, රාජ්‍ය බැංකුවලට විශාල පාඩුවක් සිදු වූ බවද, මේ බැංකු විධායකයන් ඔහුට දන්වා සිටි බවද වාර්තා විය.

                         එවැනි තත්ත්වයක් මෙවර උද්ගත නොවෙන බවත්, වෙනත් ගැණුම්කරුවන්ට වැඩි පොළියකට අයදුම් කිරීමට ඉඩ නොතබන බවටත්, මුදල් ඇමතිතුමා ඒ අවස්ථාවේ තහවුරුවක් දුන් බවත්, ඊළග වෙන්දේසියේ දීත් අඩු පොළියට බැඳුම්කර අයදුම් කරන ලෙස උපදෙස් දුන් බවත්, විධායකයන් සාක්‍ෂි දුන්හ. එම උපදෙස් පිළිපැදීම නිසා, දෙවන වරටත්, රාජ්‍ය බැංකුවලට පාඩුවක් සිදු වූ බවටත්, මෙයින් විශාලතම ලාභය අත්පත් කරගත්තේ පර්පෙචුවල් ටෙ‍්‍රෂරිස් සමාගම බවත්, මෙම සාක්‍ෂි මගින් බැඳුම්කර කොමිසම දැන් තහවුරු කරගෙන ඇත.

                         මෙම සාක්‍ෂිවලින් හෙලිදරව් වූ සත්‍ය කරුණු මුළු රටම විමතියට පත්කල අතර, බැඳුම්කර වංචාව ගැන උකුසු ඇසින් අධ්‍යයනය කරන සමාජ ක‍්‍රියාකාරීන් පවා, පුදුමයෙන් තිගැස්සී ඇති බව පෙනේ.

                         බැඳුම්කර කොමිසමේ ප‍්‍රශ්න විචාරක ජ්‍යෙෂ්ඨ නීතිඥයන් විසින් මේ රාජ්‍ය බැංකු විධායකයන් වෙත නගන ලද ප‍්‍රශ්නවල පැහැදිලි අමුතු රටාවක් තිබෙන අතර, නගන ලද ප‍්‍රශ්න සහ ලබාගන්නා ලද පිළිතුරු වලින්, එම නීතිඥවරුන්ගේ එකම අරමුණ සහ අභිලාෂය වූයේ, මුදල් ඇමතිවරයාගේ වගවීම තහවුරු කරගැනීම පමණක්ම සහ වෙනත් කිසිවක් නොඅසා සිටීම බව, පෙනී යයි. සාක්‍ෂි දුන් බැංකු විධායකයන්ගේ වගවීම හෝ වගකීමට අදාල වන කිසිම ප‍්‍රශ්නයක් අහම්බෙන් හෝ අසා නොසිටීම හෝ යම් ඇනුම් පදයක් හෝ පිට නොකිරීම තුල, අප දකින්නේ, ප‍්‍රශ්න කිරීමේ විශේෂත්වයක් ඇති බවය.

                          මුදල් ඇමතිතුමාගේ එවැනි වාචික උපදෙස් එසේ පිළිගන්නවාද සහ එසේ වාචික උපදෙස් මීට පෙර හෝ පුරුද්දක් ලෙසින් හෝ  ලබාගෙන ක‍්‍රියාත්මක වී ඇත්ද යන්න ඇසුවේ නැත.

                          නීතිඥවරුන්ගේ අතිශයින් ශික්ෂිත ප‍්‍රශ්න ඇසීම, මුදල් ඇමතිව බෙල්ලෙන් අල්ලා ගැනීමට පමණක් කරන ව්‍යායාමයක් මිස, රාජ්‍ය බැංකු විධායකයන්ගේ මේ පිළිබඳ වගවීම දෙස, එබී නොබලන්නට ද අරමුණු කරගෙන මේ සාක්‍ෂි සටහන් කරගෙන ඇති බව පෙනේ. මේ අනුව, බැංකු විධායකයන්ට ඉතා කාරුණිකව, සානුකම්පිතව, මෘදු දෑතින් යුතුව, රජයේ නීතිඥයන් සලකා ඇති බව පැහැදිලිය.

                          රාජ්‍ය බැංකු තුනේ සභාපතිවරුන් තිදෙනාම, රවි කරුණානායක සහ කබීර් හෂීම් විසින් දේශපාලන සාධක මත පත් කරන ලද, පුද්ගලයන් වේ. ඔවුන් පත්කල එම ඇමතිවරුන්ද, බැඳුම්කර කළු වලාවේ යට සිටින දෙදෙනෙක් වීමද, විශේෂයක් වෙයි. මේ සභාපතිවරුන් තිදෙනාම බැංකුකරණයේ සියුම් පිළිවෙත් ගැන කිසිත් ශාස්ත‍්‍රීය දැනුමක් නැති පිංගුත්තරයන් වන අතර, සාක්‍ෂි දුන් සෙසු විධායකයන් සමග එදින යෙදුනේ ‘‘අපූරු රංගනයක’’ බව ඉතා මැනවින් පෙනේ. හොඳින් පෙරහුරු කර, හොඳින් සම්බන්ධීකරණය කර, එකග වී ඉදිරිපත් කරන ලද එය, අපූරු මහජන ප‍්‍රදර්ශණයක් Public performance බවත්, මේ, ‘‘ඊනියා සත්‍ය හෙලිදරව් කිරීම’’ අනිවාර්යෙන්ම යම් තැනකින් හෝ පුද්ගලයෙකුගේ විධානය මත කරන ලද ‘‘මෙහෙයුමක්’’ බවත් සක්සුදක් සේ පැහැදිලිය. මෙහිදී මතුවෙන වැදගත්ම සහ අනිවාර්ය ප‍්‍රශ්නය වන්නේ, ‘‘දැන් පවතින පසුබිම යටතේ, මේ රගපෑම මෙසේ කරන ලෙස උපදෙස් දුන්නේ කව්රුන්ද?’’ යන්නයි. එම උපදෙස් දුන්නේ නීතිපති තුමාද? එසේ නොමැති නම්, කරලියට පැමිණ ඇති යම් අළුත් දේශපාලන බලවතෙක් ද?

                          එම පිළිතුර කුමක් වූවත්, මේ විධායකයින් සියලූදෙනාටම, වගකීමෙන් පැන යෑමට ඉඩක් නැත. ප‍්‍රථම කාරණය වන්නේ, මුදල් ඇමතිවරයාගේ වාචික උපදෙස්වලට අනුව ක‍්‍රියාකිරීමට බැංකුවලට නීතියෙන් කිසිම ඉඩක් නැතී බවය. නීති විරෝධී උපදෙස් පිළිපැද බැංකුවට බරපතල මූල්‍ය අලාභයක් සිදුකිරීම සහ දූෂණ ක‍්‍රියාවකට හවුල්වීම ගැන ඔවුන් වගකිව යුතු වේ. දෙවනුව, මෙයින් තමන් නිදොස්වීමට තිබුණ මාවත වන, ඉහළ බලධාරියෙකුට මේ ගැන පැමිණිලි කර උපදෙස් ගැනීම හෝ අඩුම වශයෙන් බාහිර පාර්ශවයකගෙන් උපදෙස් පැතීම කළා නම්, යම් සහනයකට පදනමක් ඇතිවිය හැක. විචාරයකින් තොරව, නීති විරෝධී උපදෙස් පිලිපැද්දා නම්, විපාක විඳවන්නට සිදුවනු ඇත. කුම්බලා මාළු කෑවානම්, විඳවාපන්, කියමන ගැලපේ.

                           මෙම බැංකු විධායකයන්ට මුහුණ දෙන්නට සිදුවන අනිත් බරපතල ප‍්‍රශ්නය වන්නේ, මෙම ජාතික වංචාව ගැන පාර්ලිමේන්තුවේ බලය ලත්, COPE කමිටුවේ, පරීක්‍ෂණයක් පැවතුන අතර, එහිදී මෙම බැංකු බලධරයන් සාක්‍ෂිදීමේදී, දැන් එලිදරව් කල සත්‍ය තත්ත්වය, COPE කමිටුවට එලිදරව් නොකලේ ඇයි? යන්නය. එම සාක්‍ෂි සගවා ගෙන සිට COPE කමිටුව නොමග යැව්වේ ඇයි? යන්නටද ඔවුන් පිළිතුරු දිය යුතුවේ.

                           කෝප් කමිටුව, උසාවියක් නොවූවද, නීත්‍යානුකූල අධිකාරී බලයක්, Authority ඇති කමිටුවක් බැවින් පාර්ලිමේන්තුවට වාර්තා කර, ඒ හරහා නීතිපති බලගැන්වීමටත්, වරදකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමටත් මාවත විවෘතය. ඉහතින් සඳහන් කල පරිදි, ඔවුන්, දඩුවම් ලැබිය යුතු වැරදි දෙකක් කර ඇත. මුදල් ඇමතිගේ නීති විරෝධී උපදෙස් ක‍්‍රියාත්මක කර බැංකුවලට බරපතල අලාභයක් සිදු කිරීම සහ COPE කමිටුවට සත්‍ය වසන්කර, කමිටුව නොමග යැවීම යනුවෙනි. ඔවුන් නිරවුල් නීතිමය සංකල්පයක් වන  “Particeps Criminis” හෙවත් ‘‘අපරාධයකට හවුල්කරුවන්’’ වී ඇත. එම අපරාධය මව්බිමට එරෙහි, ජනතා විරෝධී අපරාධයක්ද වන්නේය.

                         සිල් රෙදි නඩුවේ, නඩු නිමිත්ත, මුළුමනින්ම මේ හා සමානය. එනම්, ඇමතිවරයෙකුගේ නීති විරෝධී උපදෙස්, රාජ්‍ය නිලධාරින් විසින් ක‍්‍රියාත්මක කර, සහ රාජ්‍ය මුදල් අයථා පරිහරණයක් සඳහා යොදාගෙන රජයට අලාභයක් සිදු කිරීමය. උසාවියෙන් දුන් දඩුවම, වසර 8 ක බරපතල වැඩ සහිත සිරගත කිරීම සහ රුපියල් දශ ලක්‍ෂ 5 ක දඩය විය. මෙම බැංකු විධායකයන්ට එවැනි දඩුවමක් තබා, කිසිම චෝදනා පත‍්‍රයක් වත් නිකුත් කරන්නේ නැති බව, සාක්‍ෂි සටහන් කරගත් රටාව, ජනතාවට ඉගි කරයි.

                        ‘‘සිල් රෙදි නඩුවේදී ඉස්මතු වූ සිත්ගන්නා සුළු , මහජන විවාද පදනම් වූයේ දේශපාලකයන්ගේ නීති විරෝධී නියෝග’’ පිළිබඳවය . සමහරු කියා සිටියේ එය දැන් ශ‍්‍රී ලංකාවේ පිළිගත් පරිචයක් Standard Practice” බවය. එහෙත් , මේ කාරණයේදී , විවිධ සමාජ කණ්ඩායම්වල විවිධ මත වලට වඩා , වැදගත් වන්නේ , රටේ උසාවිය එම කාරණාව ගැන දරණ මතය කුමක්ද යන්නයි. උසාවියේ ආකල්පය සහ මතය , සිල් රෙදි නඩුවේ තීන්දුවෙන් , පැහැදිලිවම ජනතාවට දැන ගත හැකි වූ අතර කාලාන්තරයක් තිස්සේ දේශපාලකයන්ට දඩුවමකින් තොරවල බේරී සිටීමේ හැකියාව අත්දැක සිටින සාමාන්‍ය ජනතාවල උසාවියේ බරපතල දඩුවම ඉදිරියේ , අදහාගත නොහැකි තිගැස්සීමකට ලක්වූ බව නම් විද්‍යාමාන විය. තීන්දුවේ හරය වූයේ , නීති විරෝධී දේශපාලන ක‍්‍රියාවලට , උසාවියෙන් නම් ගැලවීමක් නැති බවය. මේ අවස්ථාවේදීල නීතියේ ආධිපත්‍ය උසාවිය සානාථ කර ඇත්තේ , මහජන අත්පොලසන් මැදය.

                        එහෙත්, ශ‍්‍රී ලංකාව යනු පුදුමාකාර රටකි. නීතිමය තීන්දුවල මෙන්ම, උසාවිවල ආකල්ප ද, නිතරම බරපතල පරස්පරයන් පිළිඹිබු කරයි. සිල්රෙදි නඩුවේ වරදකරුවන්, දින කිහිපයකට පසු, නීතියේ ඇති දුර්වල කඩතොළුවක් වන, ‘‘විශේෂ හේතූන් මත’’ යන පිළිකුල් සහගත හිඩස තුල සරණ ලබමින්, උසාවිය විසින්ම ඔවුන් ඇප මත හිරෙන් මුදවා හැරීමෙන්, මහජනයා පෙර පෙන්වූ උද්දාමය සම්පූර්ණයෙන්ම සිඳී, අපේක්‍ෂා භංගත්වයට පත්ව තිබේ. නීතියේ එක අතකින් ලබාදුන් ද`ඩුවම, නීතියේම අනිත් අතින් දියාරු කර, ඇප නොදෙන වරදිවලට, නීතියේ හිඩස උපයෝගී කරගෙන ඇපදීම, නීතියේ ආධිපත්‍යය ඉල්ලා සටන් වදින පුද්ගලයන්ගේ ධෛර්යය හීන කර තිබේ. යුක්තිය ඉටු කිරීමේ පද්ධතිය මේ නිසා, කෝලමක්, නාඩගමක් සහ විහිළුවක් බවට පත්ව ඇත.

                        මෙම නාටකයට සම්බන්ධ පුද්ගලයන් හොඳින් ඇඳ පලදින, ඉංග‍්‍රීසි කථාකරන, ශ‍්‍රී ලාංකීය සමාජයේ උපරි ව්‍යුහයේ වැජඹෙන, ධනවත් සහ බලවත්, දරුණු, ඝනයේ hard-core අපරාධකරුවන්ය. දැන් මුළු සමාජයම සංතෘප්තව saturated තිබෙන්නේ, ඉතා පලපුරුදු, කාලයක් තෙම්පරාදු වුන, කිසිදා පසුතැවිලි නොවන, අපරාධකරුවන්ගෙන්ය. එබැවින්, සමාජ ජීවිතය, වඩා පිරිසිදු කිරීම උදෙසා, වංචාව, දූෂණය, සහ එවැනි දේශද්‍රෝහී අපරාධ වැලැක්වීම දැන් අතිශයින්ම දුෂ්කර කටයුත්තක් බවට පත්ව තිබේ. ‘‘සිල් රෙදි’’ තීන්දුව දුන් අවස්ථාවේ වූවා මෙන්, මහජනයාට ඉඳහිට, හිටිහැටියේම ප‍්‍රමෝදයක් ලැබෙන අවස්ථා ලැබෙන නමුත්, ඉන් පසුව, දෛනික ජීවිතයේ අපමණ පීඩාවන්ගෙන් මඩනා ලද මිනිසුන්, මේ කාරණා ගැන දක්වන විමසිලිමත් භාවය පසුව පහලට ඇද වැටේ.

                        රාජ්‍ය බැංකු විධායකයන් විසින් රග දක්වන ලද ව්‍යාජ ‘‘පාපොච්චාරණය’’ තුළින් මහජනයාට ලැබෙන්නේ, මෙම ඉතා වැදගත් ආයතනයන් පරිපාලනය කරනා ආකාරය ගැන සුළු සේයාවක් පමණි. රාජ්‍ය බැංකු වෙලාගෙන ඇති දූෂණය කෙතරම් බරපතල ද, පැතිරුණද යත්, කිසිවෙකුටත් මෙම කාරණාව ගැන කෙටියෙන් නම්, සැබෑ චිත‍්‍රයක් පෙන්විය නොහැක. දැන් දශක ගණනාවක සිට, කලින් කලට පත්වෙන ආණ්ඩු සියල්ලම, නීත්‍යානුකූල මෙන්ම, ව්‍යාපාරික නොවන දේශපාලන ව්‍යාපෘති සඳහා බැංකු තුලට රිසිසේ අතදමා අරමුදල් ලබා ගැනීම දිගින් දිගටම සිදුකරමින් සිටී. දේශපාලන නියෝග යොදා, දැවැන්ත ණය ලබාදීම සහ එවැනි ණය නොගෙවාම, ‘‘අයකර ගත නොහැකි ණය කණ්ඩායමට’’ බැංකුවෙන්ම තල්ලූ කිරීම, දැන් අරටු බැහැගත් බරපතල දූෂණ ක‍්‍රියාවක් බවට පත්ව තිබේ. රාජ්‍ය බැංකුවලට තම ව්‍යාපාරික කටයුතු, පිළිබඳව, ව්‍යාපාරික පදනම මත සිට තීන්දු ගැනීමට වඩා සිදුවන්නේ, දේශපාලන බලහත්කාරයට යටවී ‘‘බොල්ණය’’ පිරිනැමීමය. රාජ්‍ය බැංකුවල මූල්‍ය ස්ථාවරත්වය පවා දිගින් දිගටම අවිනිශ්චිත මාවතකට තල්ලූ කර ඇත.

                       රාජ්‍ය බැංකුවලට පරිඝණක, මිල අධික උපකරණ, ආදී මිලදී ගැනීම් වලදී මෙන්ම නඩත්තු, ගොඩනැගිලි සහ සේවා කොන්ත‍්‍රාත්තු සඳහා වන වියදම්, රුපියල් මිලියන දහස් ගණනින් වටිනා අතර, මේ හැම දේකටම, දේශපාලන හස්තය පොවා, එහි පිරිසිදු භාවය ඉඳුල් කිරීමට, පාලක පාදඩයන් නිරන්තරයෙන්ම කැස කවා ගෙන  සිටී. පරිපාලනය දූෂණයෙන් භරිත වී, කාර්යක්‍ෂමතාවය ඔත්පල වී, සේවක උනන්දුව මස්තබාල්දු වී, විනාශයේ අභිමුව, පණ අදිමින් සිටින ගිලනුන් බවට රාජ්‍ය බැංකු පත් වී තිබේ. සුව කල නොහැකි මේ රෝගී තත්ත්වයට අනෙක් ප‍්‍රධාන හේතුව වන්නේ, ඉහළ සිට පහලටම, සේවකයන් බඳවා ගැනීම, උසස් වීම්, ස්ථානමාරු, විනයානුකූල ක‍්‍රියා යන සියල්ලම දේශපාලන, ඇගිලි ගැසීම් අනුවම බව සහ අනුමත අභ්‍යන්තර නීතිරීති උල්ලංඝනය කරමින් වන බැවින්, කණස්සල්ලට, අපේක්‍ෂා භංගත්වයට සහ මානසික ආතතියට පත්ව ඇති 20,000 ක් සේවක පිරිස තුල පවතින අසහනය, දැන් නිදන්ගත රෝගයක් වී ඇත. රාජ්‍ය බැංකු තුල දැන් වැඩකරන සේවකයන්ගේ කන් පැලෙන නිහඩතාවය සහ බැංකු තුල දැන් ඇති සුසාන භූමියක නිසල බව ඔබ දකින්නේ මර්දනයේ සහ භීෂණයේ අනිශ්ඨ ප‍්‍රතිවිපාක ලෙසිනි.

                       ශ‍්‍රී ලංකාවේ ආරිථිකය තුල, දැවැන්තම කාර්යභාරය ඉටු කරන්නේ, දිවයින පුරා ශාඛා කාර්යාල 2500 කට අධික ශාඛා සංඛ්‍යාවක් නඩත්තු කරණ, රාජ්‍ය බැංකු තුන විසිනි. රාජ්‍ය බැංකු තුල නිර්මාණය වී ඇති මේ බරපතල අභ්‍යන්තර සමාජ විකෘතිය ගැන මුළුමනින්ම නිහඩව සිටින මේ රටේ ජනමාධ්‍ය ආයතන, කිසිත් ජාතික වැදගත්කමක් නැති සිද්ධින් වලට මාධ්‍ය තුල විශාල ප‍්‍රචාරයක් ලබාදෙන නමුත්, රාජ්‍ය බැංකු තුල පවතින දැවැන්ත වංචා, දූෂණ, සහ පරිපාලන අපරාධ ගැන මුළුමනින්ම නිහඩව සිටින්නේ ඇයි? ඊනියා ‘‘ගවේෂණාත්මක මාධ්‍යවේදීන්’’ පාරම්බාන සහ සම්මාන දිනාගන්නා නමුත්, උන්ගේ ගවේෂණ රාජ්‍ය බැංකු තුලට ප‍්‍රවේශ වෙන්නේ ම නැත. එහි  රහස දන්නේ, අභ්‍යන්තර තතු සොයන අය පමණි.

                       මාධ්‍ය ආයතන බොහොමයකට සහ ප‍්‍රධාන මාධ්‍යකරුවන් බොහොමයකට නොකඩවා දෙනු ලබන දැවැන්ත දැන්වීම් කොන්ත‍්‍රාත්, අවිධිමත් ණය පහසුකම්, කෙලින්ම මුදල් අල්ලස්, අර්ජුන් මහේන්ද්‍රන් ගේ මිලියන ගණන් ජරාව වැනි තෑගි බෝග සහ තරුපහේ හෝටල් වල පවත්වන එලිවෙනතුරු යන කොක්ටේල් පාටි වලින් සංතෘප්ත කර ඇති මාධ්‍යකරුවන් සහ දාසයන්, තම පෑන දෙකට කඩා උන්ගේ අධා්මුඛයේ රුවාගෙන සිටී. රාජ්‍ය බැංකුවල දූෂණ, වංචා පමණක් නොව, ඒවායේ අභ්‍යන්තර පරිපාලන විස්තර පිටතට ගලායෑම වැලැක්වීමේ විවිධ උපක‍්‍රම අතර වෘත්තීය සමිති නායකයන් මුදල් දී කුලියට ගැනීම, සම්පූර්ණයෙන්ම සේවකයන් බියවද්දන මර්දනකාරී උපක‍්‍රම යෙදවීම, ‘‘ඒකාධිපති පාලනයක’’ ලක්‍ෂණ පෙන්නුම් කිරීම වැනි මනෝවිද්‍යාත්මක පීඩනයන්ද යොදා ගනු ලැබේ. රාජ්‍ය බැංකුවල කිසිදා නොසිඳෙන මූල්‍ය උල්පත් වලින් ගලා එන මුදල් කන්දරාවෙන් දෝතක් ලෙස පෙනෙන, දැවැන්ත මුදල් ප‍්‍රමාණයක් Divert” නොහොත් හරවා, මේ උපක‍්‍රම සඳහා වැය කරන අතර, එමගින් තමන්ගේ සාපරාධී ක‍්‍රියා වසන් කරමින්, ආරක්‍ෂිතව දැන් වසර 10 කට අධික කාලයක්, දඩුවමකින් තොරව, ලංවිය නොහැකි චණ්ඩින් බවට, මේ පුද්ගලයන් පත්ව තිබේ. 

                       බැඳුම්කර වංචාව තුල රාජ්‍ය බැංකුවල සහභාගීත්වය, මේ අනුව, කුඩා අබ ඇටයක් වැනි දෙයකි. ඔවුන්ගේ දූෂණ කන්ද සමනල කන්දට වඩා උසය.

                       තත්වය ඉතාම බරපතල වන්නේ මහජන බැංකුව තුලය.

 

 

 

Author

admin

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *