shadow

මුළු ජනතාවම පාදඩ දේශපාලනයෙන් ඩෝප් වී සිටින යුගයක ආච්චිට හාල් ගරන ඉන්දිකා උපමාලි

“ආච්චිට හාල් ගරනා නිසා
නෑඹිලිය ගේන්නට පොළට යමී
කිරි බිබී සීනි පැදුරක නටා
කොහොඹ ගහ යටදි කරවිලම කමී

ජිනීවා කුඹුරකින් පිදුරු කා
යැංකි කුසලානයෙන් වතුර බොමී
හොවැංහෝ ගඟට පැන එගොඩ වී
පරෙයියන් සමඟ මම බජිරි කමී

නාගයින් සමඟ අමනාප වී
මාපිලූන් සමඟ මම හාද වෙමී
උගුඩුවන් සමඟ ඇටිකෙහෙල් කා
නවදොරෙන් සිනා සී ගෙදර යමී

වඳුරන්ගේ බණ දිවා රෑ අසා
පසිඳුරන් කඩදාසියක ඔතමී
සියල්ලම වෙන්දේසි වන නිසා
‘හිරි ඔතප්’ බන්දේසියක තබමි”

සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ කථීකාචාර්යවරියක් සහ ප්‍රතිභා පූර්ණ ගායිකාවක් වන ඉන්දිකා උපමාලි, අතිශයින්ම උචිත වු විශිෂ්ඨ රංගනයක් මෙන්ම වචන උච්චාරණයක් ද සහිතව ගයන මෙම ගීතය, වර්තමාන සමාජය පිළිබඳ උත්ප්‍රාසජනක විවරණයක් ඒ මගින් කරනු ලබයි. ඇය මෙතෙක් ගමන් කළ සංගීතමය ගමන් මගින් බැහැරව, කවියේ තේමාවට සරිලන ලෙස, බටහිර Jazz – blues සංගීත ආරයට අනුගත වෙමින් කළ මේ අසාමාන්‍ය ඉදිරිපත් කිරීම, ඇගේ භාවමය සහ රංගන ප්‍රතිභාවේ අළුත් නිර්මාණාත්මක පැතිකඩක් නිරාවරණය කරයි. මත්පැන් අවන්හලක් පසුබිම් කරගෙන බමන මත පිළිඹිබු කෙරෙන රංගනයක යෙදෙන ඇය, කවියාගේ පද වලට ආරෝපණය කෙරෙන සප්ත ස්වරය, අවඥාවේ පිළිකුල ආටෝප කර පිළිගැන්වීමෙන් නරඹන්නා ගල් ගස්සවයි. The three-minute rendition has a stunning effect.

මෙවැනි Magic කළ හැක්කේ දීර්ඝ කාලයක් කටහඬ පුහුණු කළ කෝකිලාවියකට පමණි.

මෙම ගීතයේ පද රචනය මුලදී කවියක් ලෙස නිර්මාණය කළේ කුමාර හෙට්ටිආරච්චි විසිනි. ඔහුගේ අවසරය මත ගීතයක්බ වට පරිවර්තනය කළ ඉන්දිකා උපමාලිගේ මෙම ගායනය සහ රංගනය පදනම් වූ තමාගේ අදහස් මාලාව ගැන කුමාර හෙට්ටිආරච්චි මෙසේ පවසයි.

“මේකට සන්දර්භය වෙලා තියෙන්නේ ම ලැජ්ජාව හා භය වාෂ්ප වෙලා ගිය නන්නත්තාර සමාජයක හෘදය සාක‍ෂිය. ලැජ්ජාව සහ බය නැතිනම්, ඕනෑම ජරා වැඩක් මනුස්සයෙක්ට කරන්න පුළුවන්. අද ඕනෑම හොරකමක්, පාදඩකමක් කරලා ලස්සනට හිනා වෙලා එළිපිට ඉන්න පුළුවන් වෙලා තියෙනවා. ඉස්සර හොරු ආවේ ගෙවල් බිඳගෙන. අද පිරුවට ඇඳගෙන, ටයිකෝට් දාගෙන ඕනෑම හොරකමක් මහදවල් කරලා හොඳට හිනාවෙවී එළිපිට ඉන්න පුළුවන්. මට දැනෙන්නේ, අද ජනතාවගෙන් උදුරා ගන්න තියෙන්නේ ජනතාවගේ අමුඩය විතරයි. අපි සළුපිළි ඇඳලා වැඩක් නැති තත්ත්වයකට, මෙයාලා අපිව පත් කරලා තියෙනවා. යහපත් ගතිගුණ සියල්ලම මංකොල්ල කාලා.”

ඉන්දිකා උපමාලිගේ ගීතය සහ රංගනය ඔබට You-Tube හරහා නැරඹිය හැකිය.

Author

admin

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *