shadow

දැයේ දරුවන්ට සිප් කිරි පොවන ගුරු විදුහල්පතිවරුන්ගේ දුක ගුරු විදුහල්පති වැටුප් සටන

මහපාරේ දියත් කළ උද්ඝෝෂණ මාලාව අවසන් කර, පාසල්වලට පැමිණ, ඉගැන්වීම ආරම්භ කර, එහෙත් අකුරට වැඩ කිරීමේ නව සාමුහික ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වීමට, මෙම සටන් ව්‍යාපාරයට නායකත්වය දෙන ජෝසෆ් ස්ටාලින් සහ මහින්ද ජයසිංහ විසින් ඔවුන්ගේ කාරකාදීන්ගේ එකඟත්වය යටතේ ගත් පියවර, ඉතා ඥාණාන්විත එකක් බව, අපගේ විශ්වාසයයි.

පොහොට්ටුවේ විවිධ ලූම්පන් මන්ත්‍රීවරුන් සහ මැරයන් ලවා, සියුම් බිය වැද්දීම්, තර්ජන සහ ගැරහීම් වලිනුත්, ශ්‍රී ලංකා නිදහස් පක‍ෂයේ කාන්තා ගුරු නායිකාවක් ලවා පාවාදීමට ගත් ප්‍රයත්නයන් ද පරාජය කළ නමුත්, වියරු වැටුණ ආණ්ඩුව, ජන මාධ්‍ය උපයෝගී කරගෙන බාහිර ප්‍රචණ්ඩත්වයන් සංවිධානය කරන සේයාවක් අපට නම් පෙණුනි. එවැනි අවදානමකට තම අහිංසක සාමාජිකයන් ගොදුරු වීම මගහරවා ගැනීමට, මේ අකුරට වැඩ කිරීමේ මාවතට මාරුවීම, ප්‍රඥාවන්ත උපක්‍රමයක් බව අපගේ විශ්වාසයයි.

සියුම් විශ්ලේෂණයකට ලක් කළ විට, විඩාවට පත්වෙන මහපාරේ සටන්වලට වඩා, අකුරට වැඩ කිරීම බලවත් වන්නේ, එමගින්, ගුරු විදුහල්පතිවරුන්ගේ විශිෂ්ඨම සේවාවන් වන පාසලේ බාහිර ක්‍රියාකාරකම්වලින් වැලකීම, බලධාරීන් මත දැවැන්ත පීඩනයක්, එමගින් එල්ල වන බැවිනි.

ගුරුවරු, අපගේ සමාජය තුළ, සම්ප්‍රදායිකව ස්ථානගත වී ඇත්තේ, ගෞරවනීය මෙන්ම වන්දනීය පාදස්ථම්බයක් මතය. ගුරු වෘත්තීය, හුදු පඩි ලබන රැකියාවක් ලෙස නොව, පූජනීය සමාජ මෙහෙවරක් ලෙස සැලකෙනුයේ, දරුවන්ගේ චරිත හැඩගැන්වීමේ ලා අත්‍යාවශ්‍යම අඩිතාලම දමන්නේ ගුරුවරුන් විසින් බැවිනි. අවසාන විග්‍රහයේදී සමාජයේ සදාචාර බව සහ ශිෂ්ඨත්වය මනිනු ලබන්නේ සිසු පරපුර ගුණ නුවණින් වැඩුණා ද යන මිනුම් දණ්ඩ මතය.

පත පොතින් ඉගෙනීම සාක‍ෂරතාවය මෙන්ම දැනුම ප්‍රවර්ධනය කරවන නමුත්, දරුවන්ගේ පෞරුෂ සංවර්ධනය කෙරෙනුයේ සමූහයක් ලෙස හැසිරෙමින්, වැඩිහිටියන්ගේ ගුරුහරුකම් මධ්‍යයේ ක්‍රීඩා, සංගීතය, අත්කම් සහ විවිධ කලාවන් වල නිරත වීම තුළින් පෞරුෂය ඔප් නැංවීමෙන් බව පිළිගැනේ. පිවිතුරු පියුමක්, හිරු රශ්මියේ ප්‍රභාවයෙන් සුන්දර ලෙස විකසිත වී, අවට පරිසරය සුවඳවත් කරන අයුරින්ම, ගුරුවරුන්ගේ මේ සත්කාරයෙන්, ගුණ යහපත්කමින් මෙන්ම නුවණින් පිරිපුන් යෞවනයන් අඹන්නේ මේ ගුරු පියාණන් සහ ගුරු මෑණිවරුන් මිස වෙන කවුරුන්ද?

සමාජය බබලවන දරුවන් ස්වභාව ධර්මය විසින් බිහිකරන්නේ නැත. පාසල නමැති කෝවය තුළ හැඩගැන්වී, සමාජයට මුදා හරින ගුණ නුවණින් පිරි දරුවන් අඹන්නේ දෙගුරුන් පමණක්ම නොව, සෙනෙහසින් සිප් කිරි පොවන ගුරු දෙවිවරුන්ය.

එබැවින්, ශ්‍රී ලාංකේය පුරවැසියන් වන අපගේ අත් නොහළ හැකි යුතුකම වන්නේ, ඉතා අවාසනාවන්ත ලෙස, රටේ අඩුම වැටුප් සහ වරප්‍රසාද ලබන ගුරුවරුන්ට, ආත්ම අභිමානයකින් සහ ගෞරවනීය ලෙස සමාජයේ ස්ථානගත වීම සඳහා, ජීවත්වීමට සරිලන වැටුපක් ලබාදීමට සහය වීම, අපගේ ප්‍රමුඛ සමාජ වගකීමක් වන්නේය.

-නිමි-

Author

admin

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *